Tuesday, July 10, 2018

නාට්‍යය, වේදිකාව, රංගය සහ මෙල්බර්න් - තුන්වන කොටස


මෙල්බන් පුරවර සිටින අප, තම ප්‍රජාව ආශ්‍රිත රංගයන් බොහෝමයක් නැරඹීමට අවස්ථාව ලද්දෝහු ය. ඇතැමෙක් ඒ රංග ක්‍රියාකාරකම් ප්‍රයුංජනයෙහි ලා දායක වන්නොහුය. මේ රංග ක්‍රියාකාරකම් හි ආකෘතීන් සහ වර්ග විශේෂයන් හි පරාසය සංකීර්ණය. එය පෙර කී පරිදි, මෝස්තර නිරූපණය, අවුරුදු පොළක සාස්තර කීම හෝ කඨින පිංකමක නර්තනයේ සිට, සංවර්ධිත නර්තන, සංගීත වේදිකා නාට්‍ය රංග දක්වා පරාසයකට අයිතිය. එහෙත්, අවුරුදු පොළක අංගයක් හෝ මෝසතර නිරූපණයක් යන්න රංගයක් යන අර්ථයෙන් ලා බොහෝ දෙනෙක් නොසලකති. එයට හේතුව වන්නේ ඔවුන්ගේ නිර්ණායක සැකසී ඇත්තේ රංග කලාව පිළිබඳ දැනට පවතිනා පොදු මතවාද අනුව නිසාය. එබැවින් 'නාට්‍ය' යන වචනය ඇතැමෙකුට දැනෙනුයේ දෙබස්, නර්තන, සහ සංගීත සහිත ප්‍රසාංගිකාත්මක කාර්යයක් ලෙසය. එහි වැරැද්දක් නොමැත. පෙරදිග, විශේෂයෙන්ම සංස්කෘත රංගවේදයේ හි දස වර්ගයක් ලෙස දක්වන රංග විශේෂතා අතර වැඩි වශයෙන් අසාධාරණයට ලක් කොට ඇත්තේ ද, අප ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව වැඩි වශයෙන් නියෝජනය කරන්නේ ද, දෙබස් සහිත කථන රංග ස්වරූපයන් ය.

ඒ සංකීර්ණතාවය අවබෝධ කරගැනීම සඳහා, සංස්කෘත නාට්‍ය කලාවේ දක්වන වර්ගීකරණයක් වන 'නෘත', 'නෘත්‍ය' සහ නාට්‍ය පිළිබඳ අවබෝධය වැදගත්ය. 'නෘත්‍ය' සහ 'නාට්‍ය' ඉහත කී ලෙසම සංවර්ධිත අවස්ථා වන අතර, 'නෘත' ලෙස හඳුන්වනු ලබන්නේ හුදු රංග රූපී ක්‍රියාව ය. පෙරදිගට අනුව, නාට්‍ය කී කල්හි, පෙළ මෙන්ම රංගය ඇතුළත් නමුදු නූතන අපරදිග දැක්ම අනුව නාට්‍ය (drama) යනු පෙළ මූලික සාහිත්‍යමය තත්වයකි. වේදිකාව (theatre) යනු, අධ්‍යකෂකයෙකු විසින් වේදිකාව හෝ පිළිගත හැකි රංග අවකාශයක රංග ක්‍රියාවක් බවට අනුවර්තනය කළ දෙයකි. රංගය (performance) යනු මේ සියල්ල ඇතුළත් 'ආවරන' නාමයකි. එහි 'නෘත' සිට 'නාට්‍ය' දක්වා සියල්ල අඩංගු ය. රංගය නිශ්චිත පෙළක් මෙන්ම අධ්‍යක්‍ෂකයෙකු නොමැතිව ඇති විය හැක. එය සම්ප්‍රදායික රංග කලාවට වඩා සංකීර්ණ ය. එමෙන් ම, එහි සම්ප්‍රදායික නළුවා සහ ප්‍රේක්‍ෂකයා සංකල්පය ද වෙනස් ය. මේ පිළිබද ඉදිරියේදී කතා කරනට කැමැත්තෙමි.

ඉහත රංග රූපී ක්‍රියා ගැන කතාවට මා පිවිසුණේ, නිර්මාණකරුවෙකු හෝ ප්‍රේක්‍ෂකයෙකු ලෙස මේ විෂයෙහි නිරතවෙන්නා ගේ දැනුවත්භාවය උදෙසා ය. අවබෝධාත්මක ප්‍රේක්‍ෂකයා සංස්කෘත කලා සිද්ධාන්ත (නාට්‍ය ශාස්ත්‍රයේදී) හැඳින්වූයේ 'සුම්නස්' කියාය. අභිනවගුප්ත වැනි පසුකාලීන සිද්ධාන්තකරුවන් මෙය හඳුන්වන ලද්දේ 'සහෘදයා' යන වචනයෙනි. එනමුඳු, ඉවක් බවක් නැතිව කීම නිසා මෙහි අර්ථය ගෙවී ගොසිනි. 'සහෘදයා' යනු 'නිර්මාණකරුවා හා සමාන හෘදයක් ඇත්තා වූ' හෙවත් නිර්මාණයෙන් නිර්මාණකරුගේ ආකල්ප එලෙසම පිරිසිඳ දකින්නා ය. එහෙත්, එකට වැඩෙන ඇතැම් නිවුන්නු ද රසය අතින් වෙනස් ආකල්ප දරන අයුරු දකින කළ නිර්මායක 'සහෘදයා' යන්න මට ගැටලුවකි.

මා යෙදීමට කැමති 'සුම්නස්' යන වදනයි. 'සුම්නස්' ප්‍රේක්‍ෂකයෝ ආවාට ගියාට පහළ වන්නේ නැත. එය වර්ධනය කරගත යුතු තත්වයකි. ගුණාංග වල එකතුවකි. නාට්‍ය ශාස්ත්‍රය දක්වන පරිදි එවැනි ප්‍රේක්‍ෂකයා ප්‍රසන්න මනෝභාවකින් ද, යම් අධ්‍යාපනයකින් ද, යහපත් චරිතයකින් ද, පරිණතභාවයකින් ද, කලා කුසලතාවයෙන් ද, මෙන්ම රංග කලා විධීන් පිළිබඳ දැනුමකින් ද යුතුවීම අවශ්‍ය ය. මා දකින්නේ, නිර්මාණකරුවකු සතත අභ්‍යාසයෙන් තම කුසලතා දියුණු කරගන්නාක් මෙන්ම, ප්‍රේෂකයා ද ඒ තත්වය අත්කළ ගත යුතු බව ය. විවිධ රංග නැරඹීමෙන් ද, ඒ පිළිබඳ වැඩි දුර කියවීමෙන් ද පමණක් නොව, ඒ ගැන සිතීම නිසා ද ප්‍රේක්‍ෂයා පරිණත සහ දැනුවත් භාවයට පත් වෙතැයි මගේ හැගීම ය.

කෙසේ වෙතත්, නිර්මාණ කිරීමේදී මෙන්ම නිර්මාණ වින්දනය ද සිදුවන්නේ පුද්ගල රුචි අරුචිය සහ රසය අනුව ය. අපරදිගයන් 'අත්දැකීම' යැයි කීවද පෙරදිග, බොහෝවුන් නිර්මාණකින් විදින්නේ 'රසයක්' හෙවත් සෞන්දර්යාත්මක සංතෘෂ්ටියක් ය. මා කලකට පෙර මෙල්බර්න් නුවර ප්‍රේක්‍ෂගාරයක කළ සමීක්‍ෂණයකින් හෙළිවූයේ බහුතරයක් හාස්‍ය සහ ශෘංගාර රස ජනිත නිර්මාණ නැරඹීමට කැමති බව ය.

අලුතින් යමක් නැරඹීමේ දී, ඒ පිළිබඳ වටහා ගැනීම සහ රීතින් හඳුනා ගැනීම, රස වින්දන පරාසය පුළුල් කිරීමට හේතු කාරකයකි. රසය හෝ මූලික අත්දැකීම එය ඉදිරිපත් කරනා ආකෘතිය හෝ රංග වර්ගය තීරණය කිරීමට හේතු කාරකයකි. ග්‍රීක නාට්‍ය කලාවේ ඇවෑමෙන් අපරදිග රංග කලාව අත්පත් කරගත් 'ට්‍රැජ්ඩි' සහ 'කොමඩි' වර්ගයේ නාට්‍ය විශේෂතාවයන් ප්‍රධාන කරගන්නේ 'ශෝක' හෝ 'හාස්‍ය' ජනනය කරනා ක්‍රියාවලිීන් ය. ඒ සඳහා යොදා ගන්නා රීතීන් අනුව රංග වර්ගීකරණය (genres) ඇතිවේ.

සංස්කෘත නාට්‍ය ධර්ම අනුව හාස්‍ය හෝ ශෝකය යනු රසයන් ය. රසය ජනනට වනුයේ 'අනුභාව', 'විභාව' සහ 'ව්‍යාභිචාරීභාව' යන්නේ එකතුව නිසා කියා ය. ඒ අනුව ශෝක, කරුණා, හාස්‍ය, ශෘංගාර වැනි රස ජනනය වේ. මේවායින් එකක් හෝ කිහිපයක් රංගයක ප්‍රධාන වෙයි. උදාහරණයකින් වැඩිදුර පැහැදිලි කරන්නේ නම්, ශෘංගාරය නම් රසය ඇතිවීමට හේතුවන්නේ ප්‍රේමවන්තයෙකු සහ ප්‍රේමවන්තියක අතරෙහිය. (මේ සම්ප්‍රදායික උදාහරණය පිළිබඳව කමත්වා!) දෙදෙනාගේ දැක්මෙන් උත්තේජනය වන මූලික භාවය 'රති' නම් සථී්ර භාවයයි. එය පාරිසරික සාධක (ප්‍රේමයට උචිත මද අඳුර, සුවඳ, සඳ එළිය) මත තීව්ර වෙයි. වාචික අවාචික අභිනය මගින් එය ප්‍රකාශ කිරීම 'අනුභාව' ය. ව්‍යාභිචාරිිභාව යනු එම සථී්ර භාව රසයක් බවට පත්කිරීමට කරනා භාවමය විපර්යාසයයි.

රසය, ප්‍රේක්‍ෂකයා සහ නිර්මාණකරුවා (නළු නිළියන්) දෙපාර්ශවයම එක්ව විඳින්නක් යැයි කිව හැක්කකි. චිත්‍රපටයක උද්වේගකර සටනකදී ඔබ ආතතියෙන් නරඹන්නේත්, ශෘංගාරාත්මක ප්‍රේම ජවනිකාවක උණුසුම් හැඟීමක් දනවන්නේත්, ඔබ ද රස විඳිනවා මෙන්ම එම රංග ක්‍රියාවේම කොටසක් බවට පත්වන බැවින් ය. මේ ගැන වැඩිදුර සිතන්නේ නම් ඔබ නිර්මාණකරුවකු සහ ප්‍රේක්‍ෂකයෙකු බවට එකවර පත්වෙන අයුරු වටහා ගත හැකි ය. කාගේ නිර්මාණයක් නැරඹුවත් ප්‍රේක්‍ෂකයා එය විඳින්නේ තම අත්දැකීම් පදනම් කරගෙන ය. තමාට එම අත්දැකීමේ හි සමීපභාවය අනුව සහ සංවේදිතාව අනුව, දැනෙන හැඟීම හෝ රසය වෙනස් විය හැකිය.

එමෙන් ම, එදිනෙදා ජීවිතයේදී ද අප රංගවේදීහූ සහ ප්‍රේක්‍ෂකයෝ බවට පත්වෙති. එම සංසිද්ධීන් පිළිබඳ විශ්ලේෂණය ද රංග කලාවට අයිති දෙයකි. පෙර සඳහන් කළ රංගකලා සිද්ධාන්ත අනුව එය උදාහරණ මගින් විස්තර කරනු මම කැමැත්තෙමි. යමෙක් ගමනක් යෑමට සූදානම්ව ඒ සඳහා සුදුසු සේ සැරසීම, තම ගමනේ ස්වභාවය ද, තමාගේ තත්වය ද, සහ ඒ මුණගැසෙන පුද්ගලයන් තමා දකින්නට කැමති ආකාරය ද ආදිය සිතා හෝ නොසිතා සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියකි. එම තැනත්තා තම ස්වරූපය හෝ ප්‍රතිරූපය සදහා ප්‍රේක්‍ෂාවක් අපේක්‍ෂා කරයි. ඒ අනුව අතට හසුවෙන යමක් ඇඟට දමාගෙන යන්නෙක් පවා ප්‍රේක්‍ෂාවක් බවට පෙරළනු ලබයි. ශරීරයේ මස් පිඬු ව්‍යායාම මගින් වර්ධනය කරගැනීමෙන් ද, සිහින් සිරුරක් ගොඩ නැංවීමෙන් ද, පච්චා මගින් ශරීරය කැන්වසයක් බවට පත් කිරීමෙන් ද, කරන්නේ නිරූපණය යි. එහි දී ද පළමු ප්‍රේක්‍ෂකයා වන්නේ එහි නියුක්තවන්නා ය. මෙය ද රසවිඳීමකි.

එමෙන් ම ස්වභාවික අලංකාරයක් හෝ මනුෂ්‍ය නිර්මිත අලංකාරයක් නැරඹීම ද මේ හා සමාන ක්‍රියාවලියකි. එහි දී හුදකලාව හෝ සමූහයක් ලෙස එම අත්දැකීම වින්දනය කරනු ලබයි. නිර්මාණය ස්ථිරව පවතින අතර, නරඹන්නෝ නියුක්තිකයෝ සහ ප්‍රේක්‍ෂකයෝ බවට පත්වෙති. සමූහයක් ලෙස නරඹන්නේ නම්, අනෙකුන් ගේ ප්‍රතිචාර ද, එම ප්‍රතිචාර මගින් ගොඩනැගෙන අනෙකුන්ගේ දායකත්වය ද, ඒ නරඹන්නන් අතර තමා නරඹන දෙය මූලික කරගනිමින් කරනා රංග ක්‍රියා ගනුදෙනුවකි.

ඔබ රංගයක් නැරඹීමය ගිය අවස්ථාවක් සිහි කැඳවයි නම්, එහි වූ ප්‍රේක්‍ෂකාගාරයේ හෝ ඒ රංග භූමියට පිවිසීමේ සිට රංගයේ කොටස් කරුවෙකු වූ බව සිහිපත් කරගත හැක. ඇතැම් නිර්මාණකරුවෝ දැනුවත්ව ම, ප්‍රේක්‍ෂක ආලින්දය ද රංග අවස්ථාවක් බවට පත් කරගනිති. The God King Drama (2014) නාට්‍යය Monash Performing Arts Center හි නැරඹා ඇත්නම් මේ කියන කාරණය සිහි කැඳවිය හැකිය. ඔබ නැවත වාරයක් ඕනෑම රංගයක් බලනට යන කළ මේ අවබෝධද රැගෙන යන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

-තරංග දන්දෙනිය [https://www.facebook.com/tharanga.dandeniya]

පසු සටහන:

ෆෝරම් තියටර් (Forum Theatre) ආකෘතිය මනාව අනුවර්තනය කරමින් සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය සඳහා ධනංජය කරුණාරත්න නිර්මාණය කළ "පෙරේරලාගේ කසාදය" රංගය මෙයට තවත් අගනා උදාහරණයකි. ධනංජය ගේ බොහෝ රංගයන් හි මෙකී ලක්ෂණය දැකිය හැක.

No comments:

Post a Comment