Wednesday, July 18, 2018

පෙරේරලාගේ කසාදේ රංගය වර්ෂ පූර්ණය කරා...


සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතියේ පළමුවෙනි නිර්මාණය ලෙස, නාට්‍යවේදී ධනංජය කරුණාරත්න ගේ නිර්මාණ අධ්‍යක්‍ෂණයෙන් යුතුව 2017 ජූලි මස 30 වෙනි ඉරිදා සිඩ්නි තදාසන්නයේ පෙමුල්වේ තරුණ මධ්‍යස්ථානයේ දී මුල්වලට වේදිකාගතවුණු "පෙරේරලාගේ කසාදේ" රංගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, ඇඩිලේඩ්, වොලොංගොං, කැන්බරා, මෙල්බර්න් සහ නිව්කාසල් නගර හයක පැවැත්වුණු දර්ශන දාහතරක් සමග ඕස්ටේ‍ර්ලියානු ඩයස්පෝරික වේදිකාවේ පුරා වසරක් සම්පූර්ණ කර ඇත.

මෙය ඕස්ට්‍රේලියානු සිංහල ඩයස්පෝරික සමාජය තුළ නාට්‍ය කණ්ඩායමක් පසු කළ සුවිශේෂී කඩඉම් අවස්ථාවක් බව අපේ විශ්වාසයයි.

"මැදි වයසට යත්ම අප සමාජයේ බොහෝ අඹු සැමියන් තුළින් කසාද බැඳි අලුත තිබූ රොමෑන්ටික් බව නැති වී යන්නේ ඇයි?" යන කාලීන ප්‍රශ්නය නිර්මාණාත්මකව සාකච්ඡා කෙරෙන, මනෝ විද්‍යාත්මක පදනමකින් නිර්මාණය කර ඇති, පෙරේරලාගේ කසාදේ රංගයේ විශේෂත්වය වන්නේ, සංවාද මණ්ඩප රංග ආකෘතියට අනුව යමින්, රංගය පැවැත්වෙන අතරතුර එහි අන්තර්ගතය පිළිබඳව ප්‍රේක්ෂකයාගේ අදහස් විමසමින්, ඒ අනුව නළු නිළියන් එම මොහොතේ ම රංගය වෙනස් කරමින් ඉදිරිපත් කිරීමයි.

පසුගිය වසරේ ජූලි 30 දින පැවැත්වූ මුල් දර්ශනයේ සිට පැවැත්වූ සෑම දර්ශනයක දී ම, ඉමහත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයට ලක් වුණු "පෙරේරලාගේ කසාදේ" රංගය පැමිණි මග මෙසේ ය.

2017 වසරේ දර්ශනඃ 1. ජූලි 30 (සිඩ්නි), 2. අගෝස්තු 13 (සිඩ්නි), 3. සැප්තැම්බර් 17 (සිඩ්නි), 4. ඔක්තෝබර් 28 (ඇඩිලේඩ්), 5. නොවැම්බර් 26 (සිඩ්නි).

2018 වසරේ දර්ශනඃ 6. ජනවාරි 27 (සිඩ්නි), 7. පෙබරවාරි 17 (වොලොංගොං), 8. මාර්තු 11 (සිඩ්නි), 9. අප්‍රියෙල් 15 (සිඩ්නි), 10. මැයි 20 (සිඩ්නි), 11. ජූනි 9 (කැන්බරා), 12. ජූනි 23 (මෙල්බර්න්), 13. ජූනි 24 (මෙල්බර්න්), 14. ජූලි 7 – (නිව් කාසල්).

පර්යේෂණාත්මක රංගයක් වන අපේ පළමුවෙනි නිෂ්පාදනය සමග ඩයස්පෝරික ප්‍රේක්ෂකයින් අතරට පැමිණ ගතවුණු පසුගිය වසරක කාලය තුළ රංග කණ්ඩායමක් ලෙස අපේ ලැබූ අත්දැකීම් සහ අප ආ ගමන ගැන තොරතුරු සැකවින් ඔබ සමග බෙදාගන්නට කැමැත්තෙමු.

සිඩ්නි නගරයේ සිංහල නාට්‍යයක් පෙන්වීමට නම්, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නළු නිළියන් කිහිප දෙනෙකු හෝ ආනයනය කළ යුතු බවට යම් මතයක් මෙහි ඇති වී තිබුණි. අප මුහුණ දුන් එක් අභියෝගයක් වූයේ එය ජය ගැනීමයි. කෙසේ හෝ අප නාට්‍ය කලාව බැරෑරුම්ව අධ්‍යයනය කිරීම සහ අභ්‍යාස කිරීම ඇරඹූ අතර එහි ප්‍රතිඵල විනිශ්චය කිරීම ප්‍රේක්‍ෂක ඔබට බාර කරමු. ලංකාවෙන් මෙහි පැමිණෙන රංග ශිල්පීන් හා අප අතර ඇති ප්‍රධාන වෙනසක් ලෙස දැන් අප දකින්නේ ඔවුන්ට අපට වඩා විෂයානුබද්ධ අභ්‍යාස කිරීමට අවස්ථාවන් වැඩිවීම වන අතර එම අභියෝගය ද දර්ශන හා නිෂ්පාදන වැඩිවීම හරහා අපට ජය ගැනීමට හැකි වේ යැයි සිතමු.

මුල් දර්ශනයේ සිට, පෙරේරලාගේ කසාදේ සෑම දර්ශනයක් සඳහාම පාහේ අප නිකුත් කළ ප්‍රවේශපත් සියල්ල දර්ශනයට පෙර ම විකිණී අවසාන විය.

ප්‍රේක්‍ෂකයා සමග ඉතා සමීපව, ඔවුන්ගේ සහභාගීත්වය ද සහිතව රංගය ඉදිරිපත් කෙරෙන ආකෘතිය සැමගේ සිත් දිනාගත් බව ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මගින් දක්නට ලැබුණි. සෑම දර්ශනයක් අවසානයේ දී ම පැවැත්වුණු රංගය පිළිබඳව සාකච්ඡාවට ද, පැදුරු සාජ්ජයට ද, ප්‍රේක්‍ෂකයින් සියලු දෙනාම පාහේ ඉතා උනන්දුවෙන් සහභාගී වූහ. අප මෙම ආකෘතිය හඳුන්වා දුන්නේ දියුණු නාට්‍ය සංස්කෘතියක් පවතින බොහෝ සමාජයන් හි දක්නට ලැබෙන ආකාරයේ ප්‍රේක්‍ෂකයා සහ නාට්‍යකරුවා අතර ඇති සමීප කතිකාව අප අතරේ ද ඇති කිරීමටයි.

රංගය නැරඹූ ප්‍රේක්‍ෂයින් තමන්ගේ හිතවතුනට ද ඉදිරි දර්ශන නැරඹීම සඳහා යෝජනා කිරීම සහ ප්‍රවේශපත්‍ර විකිණීමට ඉදිරිපත් වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ප්‍රවණතාවක් විය.

අපේ දෙවෙනි දර්ශනය සඳහා විශේෂයෙන් ම පැමිණ සහභාගී වූ ඇඩිලේඩ් නගරයේ වෙසෙන ප්‍රේක්‍ෂකයෙකු වන මලීන් දිසානායක විසින් ඉන් පසුව සිඩ්නි නගරයෙන් පිටත පැවැත් වූ අපේ මුල් ම දර්ශනය එහි සංවිධානය කරන ලදී. එය අපේ පළමුවෙනි අන්තර් ප්‍රාන්ත දර්ශනය ලෙස සුවිශේෂී අත්දැකීම් අපට ලබා දුන් අතර, එවැනි ඉදිරි දර්ශන සඳහා හොඳ මග පැදීමක් ද ඇති කළේ ය.

සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මුදලින් ආධාර කිරීමට අපේ ප්‍රේක්‍ෂකයින් නිරතුරු ඉදිරිපත් වූහ. එක් එක් ප්‍රේක්‍ෂයින් විසින් ඩොලර් පහේ සිට පනහ දක්වා වූ විවිධ ප්‍රමාණයේ ආධාර අපට ලබා දී තිබුණු අතර එක් දර්ශනයක් අවසානයේ අපට ඩොලර් 400 ක මුදලක් ද ආධාර ලෙස ලැබී තිබුණි.

ප්‍රේක්‍ෂකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් දෙතුන්වරක් ම "පෙරේරලාගේ කසාදේ" රංගය නැරඹීමට පැමිණියහ.

දර්ශන ප්‍රමාණය වැඩිවෙත්ම, මුල් දර්ශන කිහිපයට සහභාගී වූ නළු නිළියන් සිව් දෙනාට අමතරව, තවත් නළුවෙකු සහ නිළියක පුහුණු කර රංගයට එක් කිරීමට ද අපට හැකිවිය. එසේ ම, සාමාන්‍යයෙන් ඕනෑම නාට්‍යයක දී, නළු නිළියන් ගේ රංගනය වර්ධනය වන්නේ දර්ශන වැඩි වැඩියෙන් පැවැත්වෙන විට නිසා, අපේ නළු නිළියන් සියලු දෙනාම ඉතා දියුණු තත්වයකට තම රංගනය වර්ධනය කරගෙන ඇතැයි අපි සිතමු.
ප්‍රේක්‍ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර ද එකතු කරගනිමින්, පෙරේරලාගේ කසාදය රංගයේ අන්තර්ගතය නිරන්තරයෙන් වැඩි දියුණු කරන ලද අතර ආකෘතිය ද නැවත නැවත ප්‍රතිනිර්මාණය කරන ලදී. වර්තමානයේ දර්ශනය කෙරෙන්නේ පසුගිය වසරේ ආරම්භ කළ රංගයට වඩා සැලකිය යුතු පරිදි වෙනස් වූ නිර්මාණයකි.

පෙරේරලාගේ කසාදය නැරඹූ ප්‍රේක්‍ෂකයින් අතරින් කිහිප දෙනෙකු අලුත් සාමාජිකයින් ලෙස අපේ රංග කණ්ඩායම සමග එක්වීම ද විශේෂයකි. පසුගිය කාලය තුළ අපි අලුත් සාමාජිකයින් වෙනුවෙන් සහ රංග කලාව පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පිරිස් වෙනුවෙන් නාට්‍ය වැඩමුළුවක් ද සංවිධානය කළෙමු.

අපේ මීළඟ නිෂ්පාදනය ලෙස ඉදිරිපත් කරන්නට සැලසුම් කෙරෙන සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමාපියන් තම දරුවන් ඇතිදැඩි කළ යුත්තේ ඕස්ට්‍රේලියානු වටිනාකම්වලට (values) අනුව ද, නැතහොත්, තමන්ගේ ශ්‍රී ලාංකීය වටිනාකම්වලට අනුව ද?" යන මාතෘකාව පිළිබඳව ප්‍රේක්ෂක ප්‍රජාවේ අදහස් ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් සංවිධානය කළෙමු. ඒ දෙවන නිෂ්පාදනයේ මූලික වැඩකටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

අපේ පසුගිය දර්ශන සියල්ලම අවසන් වූයේ, උණුසුම් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර, ගී ගායනා, නැටුම් සහ නාට්‍ය කණ්ඩායමක් ලෙස අපව තව තවත් එකිනෙකා සමග සහ ප්‍රේක්‍ෂකයින් සමග සමීප කරවන සොඳුරු අත්දැකීමක් ලෙසින් නිසා, ඊළඟ දර්ශනය පැවැත්වෙන තෙක් අප සිටින්නේ නොඉවසිල්ලෙන් බව ද කිව යුතු ය.

පසුගිය වසරක කාලයක් තුළ ලැබූ ඒ අත්දැකීම් සමුදාය සමගින් පෙරට ඇදෙන "පෙරේරලාගේ කසාදේ" රංගයේ ඉදිරි මග වැටී ඇත්තේ මෙසේ ය.

ඉදිරි දර්ශනඃ 15. අගෝස්තු 11 (සිඩ්නි, පේරාදෙණිය විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කෙරේ), 16. අගෝස්තු 18 (කැන්බරා), 17. සැප්තැම්බර් 1 (ගෝල්ඩ් කෝස්ට්), 18. සැප්තැම්බර් 2 (බ්‍රිස්බේන්).

සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතියේ අපේ කණ්ඩායම මෙසේ ය.

සිසිර අස්සැද්දුමගේ, ධනංජය කරුණාරත්න, දේවිකා ප්‍රනාන්දු, මිහිරි ප්‍රනාන්දු, අනිල් ප්‍රනාන්දු, ප්‍රසන්න සම්පත් ජයවීර, සෑම් මාසාච්චි, සුජීව මුදලිගේ, උපෙකා පැස්කුවල්, රසික සූරියආරච්චි, මලීන් දිසානායක, ලාල් දිසානායක, මධු අරම්පත්ත, රේණු ලියනගේ, සුදු රත්නප්පුලි.

"පෙරේරලාගේ කසාදේ" පසුගිය දර්ශන නැරඹීමට පැමිණි ප්‍රේක්‍ෂක සැමටත්, අපට නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමටත්, සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතියේ ආදර ස්තුතිය මෙයින් පිරිනමමු.

සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය [http://www.sctp.org.au/]

No comments:

Post a Comment