Monday, March 9, 2020

"පෙරේරලාගේ කසාදේ" ව්‍යාපෘතිය


ඇත්තටම, "පෙරේරලාගේ කසාදේ" කියන්නේ විශේෂ වස්ත්‍රාභරණ, රංගාලෝකය, අංග රචනය ආදිය සමඟ, මුල අග ඇති කතාවක් සහිතව, වේදිකාවේ පෙන්වන සම්මත නාට්‍යයක් නෙමේ. ඒ නිසා, මේ නාට්‍යය අපට සම්මත වේදිකාවක් සහිත රංග ශාලාවක පෙන්නන්න බෑ. අප පෙරේරලාගේ කසාදේ රඟ දක්වන්නේ වෙනම සකස් කළ ඊටම ආවේණික අවකාශයක සමීප කුඩා ප්‍රේක්ෂකාගාරයකටයි. මේ රංගයේ ඇත්තේ චරිත දෙකක් ප්‍රේක්ෂකයින් සමඟ, සමහර අවස්ථාවල රංග මායාව පවා ඉක්මවා ගොස්, සැබෑවටම කරන යම් ජවනිකා වගයක්.

"පෙරේරලාගේ කසාදේ" රංගය නිර්මාණය වෙන්නේ සංවාද මණ්ඩප ආකෘතියේ සිට රංග චිකිත්සාව දක්වා විවිධාකාර නාට්‍ය ආකෘති සහ භාවිතාවන් ඇසුරු කරගෙනයි. ඒ කියන්නේ, මෙය නාට්‍යය නම් ආකෘතියෙන් පමණක් නොවෙයි, සන්දර්භයෙන්, ‘නාට්‍යයක් නැරඹීම’ නම් වූ ක්‍රියාවෙන්ම ඉවත් වූ රංගයක්. සමස්තයක් ලෙස පසුගිය කාලයේ මෙවැනි ප්‍රවේශයන් හැඳින්වූයේ පෝස්ට් ඩ්‍රැමටික් තියටර් (Post Dramatic Theatre) නමින්. ඔබ එන්නේ නාට්‍යයක් නරඹන්නට නොව රංගයට අනුභූතිය වූ අදාළ කාරණය වන, මෙහි දී නම්, "කසාදයෙන් කලකට පසු අඹු සැමියන් මැදි වයසට යද්දී ඔවුනොවුන් අතර පෙර තිබුණු ආදරය සහ එකිනෙකා ගැන තිබුණු ගෞරවය හා අවධානය අඩු වෙන්නේ ඇයි?", කියන කාරණයට යම් සැබෑ ‘ප්‍රතිකාරයක් ගන්නයි’. ප්‍රේක්ෂකයා සම්බන්ධ කරගෙන පවත්වාගෙන යන මේ රංගයේ බොහෝ අවස්ථාවල දී ප්‍රේක්ෂකයින් තමන්ගේ අතිශය පුද්ගලික විස්තර සහ තොරතුරු ප්‍රේක්‍ෂකාගාරය හා බෙදා ගන්නා අතර සමහර ප්‍රේක්ෂකයින් ගේ දෑස්වල කඳුළු පිරීම දක්වා ඔවුන් සංවේදී වන අවස්ථාවන් අපට නිතර දකින්නට ලැබෙනවා.

මෙම රංගය, සිඩිනි කොළඹ රංග ව්‍යාපෘතිය නමින් 2014 දී අප නිල වශයෙන් පිහිට වූ රංග සංවිධානයේ වැඩමුළු සහ පර්යේෂණවලින් මතු වූ පළමුවෙනි නිර්මාණයයි. එය පසුගිය අවුරුදු තුනකට ආසන්න කාලය තුන පුරාම මසකට සාමාන්‍යයෙන් එක් දර්ශනයක් ලෙස නොකඩවා ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයකම වාගේ රංගගත වුණා. "පෙරේරලාගේ කසාදේ" රංගය මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික නාට්‍ය කණ්ඩායමක් නිෂ්පාදනය කළ, වැඩිම වාර සංඛ්‍යාවක් මෙන්ම රටේ වැඩිම ප්‍රදේශ ප්‍රමාණයක් ආවරණය කළ නාට්‍යය බව කිව යුතුයි.

"පෙරේරලාගේ කසාදේ" හි රංගනයේ නියැලෙන ප්‍රධාන රංගධරයන් වන සුජීව මුදලිගේ සහ දේවිකා ප්‍රනාන්දු සාමාන්‍යයෙන් ප්‍රවීණ යැයි කියනා ඕනෑම නළුවකුගේ මට්ටමට තමන්ට ද රඟපෑමට හැකි බව මේ වන විට ප්‍රේක්ෂකාගාරයට පෙන්වා තිබෙනවා. ඒසේම අපට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ද පෙනෙන්නේ "පෙරේරලාගේ කසාදේ" රංගය මෙතරම් දර්ශන වාර සංඛ්‍යාවක් ගෙන යන්නටත්, එසේම, වරක් රංගය නැරඹූ ප්‍රේක්ෂකයින්ම එම නගරවල නැවතත් දර්ශන සංවිධානය කරන්නටත් හේතුව, නළු නිළියන්ගේ රංගනය ඇතුළු නිෂ්පාදනයේ ඇති ගුණාත්මක මට්ටම බවයි. අපේ සියලුම නාට්‍ය සහ වෙනත් නිෂ්පාදන ද අප ඉදිරිපත් කරන්නේ එවැනි ප්‍රවීණ මට්ටමකින් පමණයි.

"පෙරේරලාගේ කසාදේ" රංගය නිර්මාණය කරන්න පමණක් අපට අවුරුද්දකට වඩා කල් ගත වුණා. අප ලැබූ මෙම සාර්ථකත්වයත් සමඟ අපි තවත් රංග ක්‍රියාකාරකම් දෙකක් මේ වනවිට නිෂ්පාදනය කරමින් ඉන්නවා. ඉන් එකක්, පෙරේරලාගේ කසාදේ රංගයේ ම ඉංග්‍රීසි පරිවර්තනයයි. අනෙක, මේ ආකෘතියටම තරමක් සමාන ආකෘතියකින් ඉදිරිපත් කෙරන, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ ශ්‍රී ලාංකික දෙමව්පියන් මුහුණ දෙන ප්‍රශ්නයක් වූ, ඔවුන්ගේ දරුවන් හදාවඩාගත යුත්තේ තම ශ්‍රී ලාංකික හරයන් සහ සම්ප්‍රදායන්වලට අනුවද නැතිනම් ඕස්ට්‍රේලියානු ක්‍රමයට ද යන්න වඩා ගැඹුරින් හා මනෝවිද්‍යාත්මකව සාකච්ඡා කරන රංගයක්.

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය වීම සඳහා අපේ ප්‍රධාන යෝජනාව නම්, සෑම සංස්කෘතියක සහ සමාජයක සිදුවෙන ආකාරයට ම, ලෝක නාට්‍ය කලාව ද වර්ධනය වූ ආකාරයට ම, ශ්‍රී ලාංකික නාට්‍ය කලාව ද විවිධාකාර නාට්‍ය භාවිතා, ප්‍රවණතා, සම්ප්‍රදාය හරහා සංකීර්ණත්වයට පත් වී නාට්‍ය සඳහා පුළුල් ඉල්ලුමක් ඇතිවිය යුතු බවයි. ඒ අනුව, දැනට අප සිංහල ඩයස්පෝරාව හරහා කරන මෙම නාට්‍ය භාවිතාව, මෙතෙක් නොතිබුණු ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවක් වර්ධනය කිරීම සඳහා යොදාගත හැකි හොඳම ක්‍රමයක් බව අප විශ්වාස කරනවා.

එය කළ හැකි නම්, ඊට වඩාත්ම ගැලපෙන, හොඳ පරිසරයකයි අප ජීවත් වෙන්නේ. විශේෂයෙන් ම, සිඩ්නි වැනි ලෝක නාට්‍ය කලාවේ කේන්ද්‍ර ස්ථානයක ඉන්නා අපට ලෝකයේ සියලුම හොඳ නාට්‍ය නිෂ්පාදන හා නාට්‍ය ක්‍රියාකාරකම් ඇසුරු කරන්නට අවස්ථාව ලැබෙනවා පමණක් නොවේ, මේ වන විටත් අපට ඕස්ට්‍රේලියාවේ තිබෙන ප්‍රධාන නාට්‍ය සමාගම් කීපයක්ම සහයෝගය දීමට ඉදිරිපත් වී තියෙනවා. ඒ වගේම, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සාමාන්‍යයෙන් අද පවතින්නේ මුළුමනින්ම වාගේ අනුග්‍රාහක වෙළඳපොළක් හරහා නම්, ආර්ථික වශයෙන් වඩා ස්ථාවරව සිටින ඩයස්පෝරා සමාජයේ සිටින විශාල ප්‍රේක්ෂකාගාරය තුළට නාට්‍ය කලාව ගෙනියන්නට හැකිනම්, ප්‍රේක්ෂක අනුග්‍රහයෙන් ද අපට පවතින්න පුළුවන් වෙනවා.

පසුගිය කාලය අප නාට්‍ය කණ්ඩායම දිගටම පවත්වාගෙන ගියේ මුළුමනින්ම ප්‍රේක්ෂක අනුග්‍රාහකත්වය හරහායි. ඊට අමතරව, අප නාට්‍ය කණ්ඩායමේ සිටින අය ද මුදල් සහ ජනප්‍රියත්වය කියන කාරණා පිළිබඳව කරදර නොවන පිරිසක් බැවින්, ඔවුන් හරහා නිර්මාණයක් වඩා සාර්ථක කරගැනීමට ඇති හැකියාව වැඩියි. ඒ වාගේම ඕස්ට්‍රේලියාවේ ඉතා විශාල සංඛ්‍යාවක් වූ විවිධ ජාතිකයින්ගෙන් සැදුම් ලත් සමාජයක් තියෙන නිසා, ඉතා පහසුවෙන් ම, ඉංග්‍රීසියෙන් සෑදු ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් අනිකුත් ජාතිකයින්ගේ ප්‍රේක්ෂකාගාරකට යාමට ඇති හැකියාවත් වැඩියි. නමුත් මේ තත්ත්වය අපේ ඩයස්පෝරා සමාජය තුළ වර්ධනය වීමට ඇති ප්‍රධානම අභියෝගය නම් ප්‍රවීණ මට්ටමේ රචකයින්, අධ්‍යක්ෂවරුන් සහ නළුවන් ආදීන් ප්‍රමාණවත්ව නැතිවීමයි. එම ප්‍රශ්නය විසඳා ගන්න හැකි නම් ඉතා පුළුල් ශ්‍රී ලාංකික නාට්‍ය කලාවක් වර්ධනය වීමට අවශ්‍ය වඩාම හොඳ පරිසරය ඇත්තේ ද ඕස්ට්‍රේලියාව වැනි රටවල ඩයස්පෝරා අවකාශය තුළයි. අපේ ප්‍රාර්ථනාව ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව සෑම රටකම සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව තුළින් ප්‍රවීණ නිෂ්පාදන බිහිවී ශ්‍රී ලාංකික නාට්‍ය කලාව වඩාත් පුළුල් සහ විශාල පරාසයක් දක්වා විහිදී යාමයි. අප එයට සහයෝගය දක්වන්නට කැමැති අය සමඟ සම්බන්ධව කටයුතු කිරීමට බලාපොරොත්තුව ඉන්නවා. කෙසේ හෝ අපේ ප්‍රධානම අරමුණ නම් හුදෙක් නාට්‍යයක් නිෂ්පාදනය කර පෙන්වීම නොව, නාට්‍ය කලාවේ විවිධ සංකල්ප ගොඩනැගීම සහ පර්යේෂණ කිරීමයි.

දැනට අපේ රංග ව්‍යාපෘතියේ සෑම දර්ශනයක් ම අවසානයේ ප්‍රේක්ෂකයින් සමග නාට්‍ය නිර්මාණය හා රසවින්දනය ගැන මධුවිතක් හෝ බීමක් සමග අර්ථවත් කතා බහක් ද ගෙනියන යන අතර එවැනි ක්‍රියාකාරකම් හරහා අප නාට්‍ය ලෝලීත්වය ඇති අලුත් ප්‍රේක්ෂකාගාරයක් ගොඩනගන්නට උත්සාහ කරනවා. මෙතෙක් "පෙරේරලාගේ කසාදේ" රඟ දැක්වූ සෑම පළාතකම ප්‍රේක්ෂකයින් අපට ඉදිරියේ දී ද සහයෝගය දෙන්නට ඉදිරිපත් වුණා. "පෙරේරලාගේ කසාදේ" රංගය ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කිරීමට හේතු වූයේ ද ඩයස්පෝරාවේ දෙමළ සහ ඉංග්‍රීසි භාෂා කතාකරන අනිකුත් ශ්‍රී ලංකිකයින්ගේ උද්යෝගය යි.

අප යමින් සිටින්නේ මින් පෙර කිසිවකුත් නොගිය මාවතක බැවින් අපේ උත්සාහය කෙටි කාලීන එකක් නොව, සමහරවිට මුළු ජීවිත කාලයම යටකර දැමිය යුතු එකක් විය හැකියි. නමුත් අප ඒ අභියෝගය භාරගන්නට සූදානම්. අප එය කරන්නේ දුෂ්කර වැඩක් ලෙස සලකා නොව සතුටක් ලෙස සලකායි. ඒ නාට්‍ය කලාවට අපේ ඇති ළැදිකම නිසයි.

ඔබේ සහයෝගයට ස්තුතියි.

-ධනංජය කරුණාරත්න

Sunday, March 8, 2020

“The Perera’s Marriage” Project


This is not a conventional play presented with special costumes, light effects, make-up and a well-crafted story. As a result, this play cannot be presented onstage in a conventional auditorium and so it is played in a specially arranged theatrical space. The performers interact with the audience as if in a real situation, sometimes going beyond the theatrical illusion.

This play has been influenced by multiple theatre practices from “Forum-style theatre” to “Theatre Therapy”; in general, this kind of style is referred to more recently as a post-dramatic theatre form. However, this play is different not only a viewing perspective but also in terms of theatre context itself. The play explores the issue of why most married couples, when they reach middle age, no longer feel as romantic as they did when they first married. The audience is encouraged to share their real experience with the characters and others and most of the time members of the audience will become very emotional, to the point that tears are visible.

This is the first production emanating from the workshops and training of our group, the Sydney-Colombo Theatre Project, that was formally established in 2014. This play has been staged almost once a month for the past three years or so, covering almost all the major Australian cities – in the process, making it the first-ever theatrical work produced by a Sri Lankan troupe in Australia to have been performed in all states and which has had the most number of performances. The main actors of the play, Sujeewa Mudalige and Devika Fernando, have shown skills equal of any professional actor. Professional quality is a key aspect of the production of our plays. According to audience feedback, the reason for the play’s demand is the quality of the production, including the actors’ skills. This play has been more than a year in the making and with its success we are currently producing two other works. One is an English version of “The Pereras’s Marriage” and the other – using a similar structure – is about an issue faced by Sri Lankan migrant parents in Australia; whether to raise their children according to Sri Lankan values or Australian values.

Our main suggestion for Sri Lankan theatre is to develop as other world theatre cultures have developed. Sri Lankan theatre should expand to use different theatre practices, traditions and cultures beyond language and geographical limitations. Thus, we believe that our type of Diaspora theatre practices will help develop a new Sri Lankan theatre stream that links to its motherland from the outside world, providing wider dimensions to existing Sri Lankan theatre.

There is a great social and cultural environment in places like Sydney for a theatre culture to grow, where one can enjoy mainstream world theatre productions from all over the world as well as other rich theatre activities. We are already fortunate enough to have received the favour of some of the main theatre companies in Sydney. In Sri Lanka, theatre is mainly dependent on a sponsor market, whereas in Australia, an appreciative Sri Lankan Diasporic community can provide a stable source of economic support. Our production has so far been almost completely supported by the audience. As well, the artistes in our group have no special interest in making money or being famous, as is generally the case in Sri Lanka, which is another great help for good theatre practice to grow.

As there is a multicultural community in Australia, we have more opportunity to take our works to other ethnic communities. However, for this to happen, the main challenge we need to overcome is to have enough Sri Lankan actors, playwrights and directors, etc., who have the right professional-level skills. Currently, we are working on producing professional level Sri Lankan artistes. Our wish is to have a rich Sri Lankan Theatre Culture that deals with the motherland, and with the Diaspora not only in Australia but also in the rest of the world. We are more than happy to help and share what we can do for others in this space.

We hold discussions about enjoying plays and theatre in general with a social drink after every show we perform in order to increase the interest in theatre in our community and also organise other theatre activities for public interest, not only in Sydney where we are based but also in other states. People who have seen our work have shown a special interest in supporting us; in fact, the main motivation for producing an English version of “The Perera’s Marriage” is the keen interest from Sri Lankan Tamil and English speaking communities.

Our effort to initiate a broad Diasporic theatre culture that is linked to the Sri Lankan motherland cannot be achieved overnight but is obviously a lifetime journey. It may be that we are still at the very beginning but at least we have started the journey and it is our pleasure because theatre is our endless passion.

Thank you for your support.

-Dhananjaya Karunarathne

Wednesday, August 22, 2018

අදහස් වාරණය, කලාව සහ භාවිතය - ධනංජය කරුණාරත්න


අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වන කලාව මත වාරණය ක‍්‍රියාත්මක වීම හිංසාවක් පමණක් නොව ප්‍රජාතන්ත්‍ර විරෝධී, කලා විරෝධී හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ක්‍රියාවකි. මෙම ලිපියෙන් අදහස් වාරණයේ ගැන ඓතිහාසික, න්‍යායික හා ප‍්‍රායෝගික අංශය සැකෙවින් විමසීමට ලක් කෙරේ.

මෙම "වාරණය" හෙවත් "Censor" යන වචනය ක‍්‍රි.පූ. 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක නිලයක් සෙන්සොරස් (Censores) නමින් හැඳින්වීමෙන් බිහිව එන්නකි. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුළත් විය. කෙසේ හෝ ක‍්‍රි.ව 300 වන විට චීනය ප්‍රථම අදහස් වාරණ නීතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. එදා මෙදා තුර, රාජ්‍ය විසින් ආයතනික වශයෙන් ක‍්‍රියාත්මක වී අදහස් වාරණය කිරීම, විවිධ අයුරින්, විවිධ රටවල, ක‍්‍රියාත්මක වී ඇත.

ජෝන් මිල්ටන් කවියා 1906 දී ඔහුගේ කෘතියක් වාරණය කිරීමට එරෙහිව එවකට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට කරන ලද ප‍්‍රකාශය එරියොපැජටිකා (Areopagitica) නමින් ප‍්‍රසිද්ධියට පත් විය. එය මෙතෙක් වාරණයට එරෙහිව කළ වඩාත්ම ව්‍යක්ත හා බලපෑමක් අතිකරන ලද ප‍්‍රකාශය ලෙසට ඉතිහාසගත වෙයි. මිල්ටන්ගේ අතිශය සිත් බඳනා සුළු එම ප‍්‍රකාශය ආරම්භ වන්නේ අදහස් වාරණයට එරෙහිව අදහස් ප‍්‍රකාශ කළ ආදිම නාට්‍යකරු යුරිපිඞීස්ගේ ප‍්‍රකාශයක් හකුළුවා දක්වමින් ය. ග්‍රීක රෝම යුගවල සිට සාධක ගෙන එවකට එංගලන්ත වාරණ නීතියට එරෙහිව මිල්ටන් මතු කළ ඉතාම වැදගත් කරුණ වන්නේ, කිසියම් කෘතියක් ජනතාව දකින්නටත් පෙර වාරණයට ලක් කිරීම මුළුමනින්ම අදහස එළියට දැමීමට නොදීමක් බවත්, පැරණි ග්‍රීක රෝම යුගවලදී පවා තිබුණේ ප්‍රථමයෙන් කෘතිය ඉදිරිපත් කරන්න ඉඩ දී අනතුරුව එහි හානිකර තත්වයක් තිබුණොත් වාරණය කිරීම හෝ දඬුවම් කිරීම බවයි. මිල්ටන්ගේ ඒ ප‍්‍රකාශය පාර්ලිමේන්තුවේ අදහස් වෙනස් කිරීමට සමත් වූ අතර එය එංගලන්තය හරහා බොහෝ රටවලට බලපෑවේ ය. කෙසේ හෝ 17-18 සියවස්වලට පැමිණීමේ දී ඇති වූ බුද්ධි ප‍්‍රබෝධයත්, සම්මතයට, සම්ප‍්‍රදායට වඩා තර්කය හා ඥානය මත නිගමනවලට පැමිණිමේ උවමනාව මතුවීමත් සමඟ යුරෝපයේ ඇති වූ ප‍්‍රතිසංශෝධන ව්‍යාපාරය වාරණය පිළිබඳ සම්මත අදහස් වෙනස් කිරීමට බලපෑවේ ය. වාරණය ඉවත් කළ ප‍්‍රථම රට ලෙසට 1766 දී ස්විඩනය තැබූ පියවර අනතුරුව ඩෙන්මාර්කය, නෝරවේ ආදි රටවල් හරහා බොහෝ යුරෝපීය රටවල් කරා ව්‍යාප්ත විය. පසුව මේ බොහෝ රටවල් එවැනි ගැටලු ඇති වූ විට විසඳා ගනු ලැබුවේ උසාවිය තුළිනි. එනම් කිසියම් කෘතියක් හානිකර බවට කෙනෙකු විසින් පැමිණිලි කර නඩු විභාගයකින් තහවුරු කළ යුතු විය. අදහස ජනතාවට දැමීමට පෙර වාරණය නොකෙරේ. එනම් කියන්නට පෙර කිවයුතු හෝ නොකිවයුතු දේ තීරණය නොකෙරේ.

කවර සම්මතයක් නිසාවත් ශිෂ්ටාචාරය මෙතෙක් එක තැනක නැවතී නොමැත. වාරණ සීමාවන් ඉක්මවා ගිය කලා කෘති දිගටම බිහි වූ අතර ඉන් කිහිපයක් පමණක් මෙහිලා සඳහන් කිරීම ඉතිහාසයේ සිදුවූයේ කුමක්ද යන්න තහවුරු කිරීමට ප්‍රමාණවත් ය.

නාට්‍ය කලාවේ ආරම්භක ග‍්‍රීක යුගයේදී ම ඇරිස්ටොපානිස්ගේ නාට්‍ය ඇතන්ස් ජීවිතය උඩුයටිකුරු කළ අතර ඒවා නිරන්තර අත්හිටවීම් සහ තහනම් කිරීම්වලට ලක්විය. ලැසිස්ට්‍රාටා (Lysistrata) නාට්‍යය නිසා ඔහුට දඬුවම් පවා විඳීමට සිදුවිය. එදා මෙදා තුර ලෝ ප‍්‍ර‍්‍රකට වූ නාට්‍ය රැසක් ඒවා මුලින් ම කරළිගත වන විට වාරණයන්ට ලක්ව ඇත. ශේක්ස්පියර්ගේ නාට්‍ය ප‍්‍රභූ වරුන්ට හා ආගමට අපහාස වන හේතු මත වාරණයට ලක් වූ අතර සමහර අවස්ථාවල රැජින විසින්ම පිටපත ගෙන්වා කොටස් කපා ඇත. හිට්ලර් විසින් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය සියල්ල තහනම් කොට මරණ ලයිස්තුවට ද නම ඇතුළත් කරන ලදි. වෝල්ට් වයිට්මන්ගේ ලීව්ස් ඔෆ් ග්රාස් (Leaves of Grass) නම් පෙරළිකාර කවි පෙළ 1881 දී බොස්ටන් නගරයෙන් ඉවත් කිරීම විශේෂ සිදුවීමකි. පසුව මෙම විශිෂ්ට කවි එකතුව ම වයිට්මන් "නිදහස් පද්‍යයේ පියා" ලෙස හැඳින්වීමට තරම් හේතුවිය. තහනමට හේතුව අතිශය ලිංගික නිරාවරණිය පද හා අන්තර්ගතයකින් යුක්ත වීමයි. ජැක් ලන්ඩන්ගේ සුප‍්‍රකට ද කෝල් ඔෆ් ද වයිල්ඩ් (The Call of the Wild) කෘතිය 1920-1930 කාලය තුළ යුරෝපීය රටවල් රැසක තහනම් කෙරුණු අතර චෙකොස්ලොවැකියාව ඔහුගේ කෘති තහනම් කිරීමට හේතු ලෙස දැක්වූයේ "අතිශය රැඩිකල්" වීමයි. අද චිත‍්‍රපටවල ඉතා සුලභව භාවිතා කරනු ලබන ෆක් (fuck) යන වචනය මුලින්ම භාවිතා වූ චිත‍්‍රපටිය වන 1967 දී තිරගත වූ යුලිසීස් (Ulysses) එම හේතුව නිසා බොහෝ රටවල තහනම් කෙරිණ. චිත්‍රපටියට පාදක කරගත් ජෙම්ස් ජොයිස්ගේ එනමින් යුත් අද්විතීය නවකතාව ද විවිධ වාරණයන්ට හා ඉවත් කිරීම්වලට ලක් විය. ලොව වඩාත් ප‍්‍රසිද්ධියට පත් සාහිත්‍ය නඩුව වූයේ 1960 දී එංගලන්තයේ දී ප‍්‍රකාශයට පත් ඞී.එච්. ලෝරන්ස්ගේ ලේඩි චැටර්ලිස් ලවර් (Lady Chatterley's Lover) නවකතාවට එරෙහි නඩුවයි. කෘතිය නඩුවෙන් දිනන ලදි. මෙම කෘතිය ඊටත් පෙර 1930 දී ඇමරිකාවේ දී විවාදයට බඳුන් වී තිබුණු අතර එවකට ඇමරිකානු සෙනෙට් රීඞ් ස්මුට් විසින් ලෝරන්ස්ව හැඳින්වූයේ "මුලු අපායම කළු කල හැකි අඳුරු ආත්මයක් හා ලෙඩ වූ මනසක් ඇති පිස්සෙක් මේක ලියලා තියෙන්නේ" යනුවෙනි. මේ අතර චිත‍්‍ර කලාවේ විශිෂ්ට සන්ධිස්ථානයක් ඇති කළ 1863 දී ප‍්‍රදර්ශනය කළ එඩුවාඞ් මොනේගේ "ඔලිම්පියා" චිත‍්‍රය ප‍්‍රථම වරට සමකාලීන ගණිකාවක් සම්පූර්ණයෙන් නිරුවත්කර උත්කර්ෂයට පත් කර අදින ලද චිත‍්‍රය වූ අතර ඒ මොහොතේ දැඩි විරෝධයක් ඊට එල්ල විය. එවකට කාමාවචර කලාව හෙවත් Pornography ප‍්‍රසාංගික කරළියට පැමිණෙමින් තිබු වකවානුව වූ අතර මොනේගේ මේ චිත‍්‍රය කාමාවචාර හා නිරුවත් කලාව (Nude Art) අතර වෙනස පිළීබඳ ඉතාමත් දාර්ශනික විවාදයක් ඇති කරන ලදී. එම දාර්ශනික විවාදය, සභ්‍ය-අසභ්‍ය භේදය ගැන අතිශය වැදගත් න්‍යායික ගැටලු රැසක් විසඳා ගැනීමට ප්‍රයෝජනවත් විය. අනතුරුව කැරන් ෆින්ලේ (Karen Finley) ඇනී ස්ප්රින්ක්ලේ (Annie Sprinkle) වැනි පුරෝගාමීන් කාමාවචර කලාව යොදාගෙන ඉතා විශිෂ්ට ප‍්‍රසාංගික කලා සම්ප‍්‍රදායන්ට පදනම දමන ලදි. අද මේ කෘති අප සැලකිල්ලට ගන්නේ ඒවා හුදෙක් එවකට තිබූ සීමාවන් ඉක්මවා යාම නිසාම නොව, කෘතියක් ලෙසට ද සාර්ථක නිසා බව සිහි කොට ගත යුතුය. එසේ ම ඇඳුම් සියල්ල ගලවා දමා වේදිකාවට නැග, රජයට බැණ වැදුණු පමණින් කලා කෘතියක් සාර්ථක නොවන අතර එවැනි වැඩ ද ඉතිහාසය පුරා සුලභව සිදුවී ඇත.

ඉහතින් සඳහන් කළ කිහිපයට අමතරව, තවත් සිය දහසක් විවිධ ක්‍ෂේත්‍රවල බිහි වූ කලා කෘති කාලීන වශයෙන් තිබූ සීමාවන් ඉක්මවා යාම නිසාත්, පවතින අධිපති මතවාදයන්ට, සදාචාරයන්ට සහ දේශපාලනයට තර්ජනය වීම නිසාත්, ඉතිහාසය පුරා විවිධ නින්දා අපහාසයන්ට හා වාරණයන්ට ලක් විය. එහෙත් ඒ සියල්ල දෙස "ඉතිහාසයේ වූයේ කුමක්ද?" යන දෑසින් බලන විට අද අප හට පසක් වන ඉතා වැදගත් යථාර්ථයක් ඇත. එනම් ඒ සියලුම කෘති, මේ වනවිට අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ඒවා වීමයි. ඞී.එච්. ලෝරන්ස්ට ලෙඩ වූ පිස්සෙක් යැයි කී දේශපාලකයාගේ සිට එදා ඒ කෘතිවලින් කළ දේ වැරදි බවත්, පවතින අධිපති මතවාදය නිවැරදි බවටත්, තර්ක කළ පිරිස ගැන කීමට ඇත්තේ ඔවුන්ට කලාව එහි භාවිතය හා ශිෂ්ටාචාරය තුළ එහි භූමිකාව ගලා යන ආකාරය පිළිබඳ කිසිඳු අදහසක් නොතබුණ බවයි. ඔවුහු දනුවත්ව හෝ නොදනුවත්ව ඉතිහාසයේ අගතිය වෙනුවෙන් පෙනී සිටියෝ වෙති.

මෙසේ වාරණය වුවත් නැතත් සැමවිටම, නව සෞන්දර්ය ක‍්‍රමවේද සහ විෂයට නව අර්ථකථන ගෙන ආවේ පවත්නා සම්මත සදාචාරය හා දේශපාලන සීමාවන් ඉක්මවූ කලා කෘති බව ඉතිහාසය පුරා ඉතා පැහැදිලිව පෙන්වන සත්‍යයකි. එම කෘති අපේ සංවේදීභාවය, බුද්ධිය, අප කිසි දිනක නොදුටු ඉසවු කරා ගෙන යන ලදී. අප තුළ සැඟව තිබූ සුන්දරත්වයේත් අසුන්දරත්වයේත් අන්තයන් ස්පර්ශ කරන ලදී. අප තුළ ඇති අසභ්‍යත්වය සභ්‍ය කරන ලදී. කලාවට නව ලාලසාවන් රැගෙනවිත් ජීවත්වීමේ ආස්වාදය අප තුළ ඇතිකරන ලදී.

සම්මත විශ්වාස සහ සම්ප‍්‍රදායන් විසින් ඒවා විසින් ම වන්දනා කරන පරමාදර්ශී ලෝකය ගොඩනගා නැති අතර, ඊට එරෙහි යතාර්ථය සහ ආකෘතීන් ගොඩ නැගීම ඉතිහාසය පුරා පැන නැගි අභිනව කලා ව්‍යාපාරවල ප‍්‍රධාන ලක්ෂණයකි. සරලව, වඩා රැඩිකල් හෝ වාරණයට හසුවිය හැකි හෝ කලා කෘතියක් යනු, මෙම මාවතේම එම මොහොතේ කිසිසේත් අපේක්ෂා නොකළ අන්තයන් කරා වඩා වේගයෙන් ගිය අවස්ථාවයි. (රැඩිකල් යනු අවශ්‍යයෙන්ම සාර්ථකයි යන්න අදහස් නොකෙරේ.) මෙහි දී, පැරණි-සම්මත ලෝකයෙන් හා අධිපති මතවාදය තුළ වඩාම යැපෙමින් සිටියෙකු, මෙම කම්පිත බිඳීම දැක කඩා වැටීමකට ලක්විය හැකි අතර කෘතියේ රැඩිකල් ප‍්‍රවේශයේ උත්සාහය වන්නේත් එම කඩා වැටීම ඇති කිරීම වේ. මෙය කඩා වැටුණ ම්නිසාගේ පැත්තෙන් බලන කල වරදක් ලෙසට පෙනී යා හැකි අතර, එහෙත් ප්‍රශ්නය බලන්නේ කාගේ දෘෂ්ටිකෝණයෙන්, කාට සේවය කිරීමට ද යන්න මත වාරණයේ විවාදය ඇරඹේ. රජය යනු හැම විටම මේ අධිපති මතවාදය රැකගත් කඩා වැටීමට බිය මිනිසා වන අතර, වාරණ ආයතනය යනු ඔහු තමාව බේරා ගනු වස් අටවන ලද නිල වහන්තරාවයි.

කෙසේ හෝ කෘතියක ඇති කවර හෝ සීමාව ඉක්ම වූ අමුද්‍රව්‍යයක් වේවා ඉන් හානියක් සිදුවිය හැක්කේ එය නිවැරදිව ග‍්‍රහනය කර ගැනීමට හා දරා ගැනීමට නොහැකි පුද්ගලයා මත බව පැහැදිලි වී ඇති සත්‍යයකි. වයස සීමා හෝ වෙනත් සංස්කෘතික සාමාජීය හෝ අධ්‍යාපනික සීමා ආදි සංකීර්ණ සීමා රැසක් කෘතියක් හා සන්නිවේදනය සම්බන්ධයෙන් බල පෑ හැකි ය. උදාහරණයකට, වරක් කිසි දිනක තොවිලයක් දැක නොතිබුණ නාගරික කාන්තාවක් ගමක තොවිලයක් නරඔන්නට ගොස් එහි දී ආතුරයාට පොල් මලෙන් පහර දෙනවා දැක කම්පනය වී සිහිසුන් නැති විය. පසුව ඇය සුව වුව ද, අනවශ්‍ය අභ්‍යන්තර බියක් ඇගේ ජීවිතය තුළ සදහටම ඉතුරු විය. කළ යුත්තේ ඇගේ පැත්තෙන් පමණක් ප‍්‍රශ්නය බලා තොවිල් තහනම් කිරීම ද, නැතහොත් කිසි දිනක තොවිලයක් කර නැති උන් (වාරණ මණ්ඩලය) විසින් යකදුරන්ට තොවිල් කරන හැටි කියා දීම ද? කවර හෝ තොවිල් වාරණයකින් හෝ සංස්කරනයකින් ජනතාවට සේවය කරනවා යැයි කියන විට ඉන් අදහස් කරන්නේ තොවිල් රස විඳ ගත නොහැකි පිරිසට සේවය කිරීමයි. කලාවේ දී මේ වූ කලී වෙනකෙක් නොව රටේ සිටින අවරසිකයායි. විවිධ කලා කෘති නිතරම රස විඳීමට පුරුදු වී සිටියකු හා පුළුල් රසිකත්වයක් ඇත්තෙකුට කවරම කලාවකින්වත් හානි කළ නොහැකි අතර, සාමාන්‍යයෙන් කෘතියක වචන, ජවනිකා හෝ අන්තර්ගතයෙන් හානි වෙනවා යන චෝදනාව කරන්නේ රස විඳීමේ විවිධ සීමාවන්ට හිරවූවන් විසින් ය.

මෙසේ කලා කෘතියක් කෙනෙකුට ග‍්‍රහණය කර ගැනීමට හෝ දරා ගැනීමට නොහැකිවීම නැතහොත් එමගින් කිසියම් විශ්වාස පද්ධතියක් (උදා: සිංහල සභ්‍යත්වය?) අපහසුතාවයට පත්වීම කලාවේ විවිධ අවස්ථාවල එය තම නොනවතින පියවර තබනවිට ඇතිවන වැළැක්විය නොහැකි නෛසර්ගික ලක්ෂණයක් වන අතර, කල යුත්තේ ඊට කලබලවී වාරණය කරන්නට යාම නොව, කලාවේ ඇති එම ගතික ලක්ෂණය තේරුම් ගන්නට තරම් පරිණත වීමයි. ඒ සමඟ ගනුදෙනු කළ යුතු නව දේශපාලනය හා සෞන්දර්යය සොයා ගැනීමයි. එකඟ නැත්නම් විචාරය හරහා කලාවේ කතිකාව පුළුල් කිරීමයි. එසේ විනා කිසිඳු සංස්කරණ වාරණ ක‍්‍රමවේදයකින් මේ ප‍්‍රශ්නය විසඳිය නොහැකිය. එබැවින් කළ යුත්තේ කලා කෘතියෙන් හානි සිදු වෙනවා යැයි සිතන පිරිසට කලාව රස විඳීමට හේතුවන අධ්‍යාපනික, සාමාජික, දේශපාලන හා සන්දර්භීය සීමාවන් හඳුනාගෙන හැකි තරම් එම සීමාවන් ජය ගැනීමට අවශ්‍ය පුළුල් සංස්කෘතික හා බුද්ධිමය පරිසරයක් ඇති කිරීමයි. ඔවුන් විශාල වශයෙන් දැනුම් හා තොරතුරු ගැවසෙන පුළුල් සංස්කෘතික පරිසරයක් තුළට ගෙන ඒමයි. මිනිසුන්ට පුළුල් මතයක් හා බුද්ධියක් ඇති වන්නේ විවිධ ශෛලියේ කලා කෘති විවිධ දෘෂ්ටිවාද අදහස් විශාල සංඛ්‍යාවක් ගැවසෙන ඒ ගැන කතිකාවක් ඇති පරිසරයක ජීවත්වන විට බැවින්, තොරතුරු වාරණය හැමවිටම අවසන් වන්නේ මිනිසුන් පටු හා අඩු අත්දැකීමක් ඇති අය බවට පත් කිරීමෙන් ය. රජයකට හැමවිටම වාරණය අවශ්‍යවන්නේ මේ කී පුළුල් බුද්ධිමත් සංස්කෘතික පරිසරයක් ගොඩ නැඟීමට අවශ්‍ය දැනුම නිර්මාණ ශක්තිය හා නිවරදි ප‍්‍රායෝගික සැලසුමක් නැති වූ විට ය. ඉහත මුලින් සඳහන් කළ රටවල් වාරණය ඉවත් කළේ එවැනි පුළුල් දේශපාලන සැලසුමක් තුළින් යමිනි.

දියුණු සමාජයකට යන්නේ නම් අපට අවශ්‍ය වන්නේ රැඟුම් පාලනය කිරීමට මණ්ඩලයක් නොව, ප‍්‍රසාංගික කලා කෘතියක් වෙළඳපොළට ගෙන යෑමේදී සාධාරණ ලෙස සංස්කෘතික පරිභෝජනයක් ලබා දෙනු වස් කෘතියත් පාරිභෝගිකයාත් දෙදෙනා ම ආරක්ෂා කිරීමට හා ඊට අදාළ සදාචාරය හා සාධාරණත්වය පවත්වා ගැනීමට මැදිහත්වන ආයතන ව්‍යුහයකි. ඒ අනුව කළ යුත්තේ කලා කෘති පාරිභෝගික අර්ථයෙන් වර්ගීකරණයකට ලක් කොට එහි අඩංගු දෑ මොනවාදැයි ආදි පැහැදිලි විස්තරයක් එය වෙළඳ පොළට යොමු කිරීමේ දී පාරිභෝගිකයාට ලැබීමට සැලැස්වීමයි. කෘතියක සාර්ථක අසාර්ථකභාවය සහ එය රස විඳීමේ ඇති සංකීර්ණතා ආදිය විමසීම විචාරකයාගේ කටයුත්ත වන අතර කෘතියක තිබිය යුත්තේ මොනවා ද නොතිබිය යුත්තේ මොනවා ද ඒවා කෙසේ හසුරවන්නේ ද කවර අර්ථයක් මතුකරන්නේ ද ආදිය නිර්මාණකරුවාගේ කටයුත්ත විනා රජයේ කටයුත්ත නොවේ. වරක් ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පි කුර්බේ කී ලෙස "කලාව පිළිබඳ සාමාර්ථයක් රජයකට නොමැත". කිසියම් කලා කෘතියකින් කිසියම් පුද්ගලයකුට හෝ ජනකොටසකට කිසියම් හානියක් සිදුවී ඇත්නම් එය එසේ වන්නේ කෙසේද යන්න නඩු විභාගයකින් තහවුරු කල යුතු ය.

එදා මෙදාතුර අපේ රටේ කලාවට, මේ රටේ "සංස්කෘතියට" හා පුරුෂාර්ථවලට හානි වූයේ කලා කෘතිවල තිබු වාරණය කළ යුතු යැයි ඔය කියන වචන හෝ ජවනිකා වලින් ද? නැත. දූෂිත තක්කඩි රජයන් විසින් තම දර දිය ඇදීමට පත්කරන ලද කිසිදු සුදුසුකමක් නැති අමනෝඥ නිලධාරීන්, පරිපාලකයින් කරන ලද අධ්‍යාපනික හා සංස්කෘතික ඛාදනය නිසා ය. හොඳ රඟහලක් හැදීමට, හරවත් පොත් දහසක් මුද්‍රණය කිරීමට ඇති වටිනා මුදල් තම අධිසුඛවිහරණය වෙනුවෙන් ද, අර්ථශූන්‍ය ආමිස පූජා වෙනුවෙන් ද, නිමක් නැති ඡන්ද හා දූෂණ අක‍්‍රමිකතා වෙනුවෙන් ද, අවසානයේ නිකමුන් රැසක් ඇමතියන් නමින් නඩත්තු කිරීමටත් නාස්ති කිරීම නිසාය. එය සිදුවූයේ එසේ නොව කලාවේ තිබු ලිඟු සහ රමණය දැකීමෙන් යැයි කිසිවකු කියන්නේ නම් කරුණාකර එසේ වූ හැටි තාර්කිකව පෙන්වා දෙන්න. තවමත් මීට අවශ්‍ය බැරෑම් දේශපාලන පිළිතුර සොයාගත නොහැකිව කරන දහම් පාසල් සරඹ සහ ලාමක ගැමි සෙල්ලම් වලට මුක්කු ගැසීමට කරන මේ වාරණයෙන් කලාවට සේවය කළ හැකි බවට පුළුවන්නම් ශිෂ්ටාචාරයේ කැමති තැනකින් උදාහරණ ගෙන පෙන්වන්න. කිසිම ලෙසකින් පාලනය කළ නොහැකි, දැන් එළිපත්තටම පැමිණ ඇති, දැවැන්ත ගෝලීය තොරතුරු සුනාමියට මුහුණ දීමට මීට වඩා බැරෑම් ශක්තිමත් දේශපාලන පිළිතුරක් සොයාගෙන පරිණාමය නොවුණහොත්, එය අප මැඩියන් කැරපොත්තන්, පණුවන් සේ දිනක මුලු පෘථිවිතලයෙන් ම අතුගා දමනු නියත ය.

අද දවසේ ජනතාවට ආදරය කරනවා නමින් මේ කරනා කලා වාරණය හා මහා සංස්කෘතික කප්පාදුවට දායකවීමට ඔබට අසීමිත නිදහසක් ලැබී ඇත. ඒ නිදහස අපට අපේ අදහස් ප‍්‍රකාශ කරන්නට ලබාදී නැත. වාරණ නිලධාරියෙකු ලෙසට, ගුරුවරයෙකු ලෙසට, සංස්කෘතික නිලධාරියෙකු ලෙසට, විචාරකයෙකු හෝ කලා විනිසුරුවකු ලෙසට, අවසාන වශයෙන් නාට්‍යකරුවකු ලෙසට වුවද එය ඔබට ගජරාමෙට මේ මොහොතේ කළ හැකිය. සඟවන්නට හැදුවද ඔබට බොහෝ දේවල් ඒ වෙනුවෙන් ඝෘජුව හෝ වක‍්‍රව ලැබෙනු ඇත. ඒ ලබාගන්නා බොහෝ දේවල් වලින් ගෙන ඔබ හදන දරුවන්ට කියවීමට එදා ඞී.එච්. ලෝරන්ස්ට පිස්සා කියුවන්ගේ ගොඩට ම ඔබේ නම දුෂ්ටයා ලෙසින් ඇතුළත් කර දිනෙක ඉතිහාසය නැවත ලියවෙන බව දැනට මතක තියාගන්න.

-ධනංජය කරුණාරත්න

ඡායාරූපය: කැරන් ෆින්ලේ තම සීමා ඉක්මවාගිය කලාව හා ජීවිතය ගැන ලියූ පොතේ පිටකවරය
(රාවය, 9.11.2009)

Sunday, July 29, 2018

බොහිමියානු භානුවා


භානු ප්‍රසන්න අප මිත්‍රයා අප හැරදා ගොස්, 2018 ජූනි 22 දිනට වසර පහකි. සාමාන්‍ය රස්තියාදුකාර නාට්‍යකරුවෙකු වූ භානු මිත්‍රත්වය හා නාට්‍ය එකට බැඳි දුර්ලභ සුන්දරත්වයකට එක්තරා විදියක සංකේතයක් විය. එදා භානුගේ අකල් මරණය අප මහත් කම්පනයකට පත්කළ අතර ඒ කම්පනයෙන් යුතුව මම පුවත්පතකට ලියූ "බොහිමියානු භානුවා" නම් වූ ලිපියක් කාලීන වශයෙන් යළි ආවර්ජනයට ගැනීම සුදුසුයි කියලා හිතුණා. ඔබ එය කියවා ඇත්නම් යළි කියවා බලන ලෙස මම යෝජනා කරන්න කැමතියි.

මේ ස්මරණය භානු වෙනුවෙන්!

බොහිමියානු භානුවා

අපගේ ජීවිත සීසීකඩ කර ඇත. එය එකම අවුල් ජාලයකි. උපතෙදී අපට උරුමකර ඇති සියලූම ප්‍රශ්න මැරෙනකොට ද අපි අරගෙන යන්නෙමු. කිසිවෙකුට කිසිවෙක් ගැන සොයා බැලීමට වේලාවක් නැත. එතරම් වේගයෙන් තම තමන්ගේ පණ බේරාගෙන හිත් ලූ ලූ අත දුවන පිස්සන් රැළක් බවට අපව පත් කර ඇත. ෆේස් බුක් නැත්නම් දැන් කවුරු කාට පෑගී මිය යනවාද යන්නවත් සොයාගත නොහැකිය. ජීවිතය හැර අන් සියල්ල මිල අධික දේශයේ මරණය අති සුලභව කැමති තැනකින් දැන් ඔබට ලබාගැනීමට ඇත. ඒ අතරේ භානු ප්‍රසන්න යන අප සගයා මියගොස් ඇත. අපිට ඊට වටිනාකමක් දිමට අවශ්‍යය. එය කරන්නේ කෙසේද? කිසිවෙක් නොදනී. අවම වශයෙන් අර දුවන අතරේ අපි ඔහුට තව එකම එක හාදුවක් දී යමු. ඒ භානු කිසිවක් නොබලා අප සමග මෙතෙක් දුර දිව ආ බැවිනි. අනිත් බොහෝ දේ සේම යළි කිසි දිනක භානු ද අපට මතක් නොවෙනු ඇත. මේ කුරිරු දුෂ්ට අර්ථ ශුන්‍ය දේශයේ යළි කිසි දිනක භානු ද අපට වැඩක් නොවනු ඇත! අපිට වැඩක් ඇත්තේ මොනවා ද? රට කරන ඒකාගෙන් ම අැසිය යුතුය!

ක්ෂේත්‍රයේ මට හමු වූ පළමු මිතුරා ඔහු ය, මගේ සෑම නාට්‍යයකම සිටි එකම ශිල්පියා ඔහු ය, මම පිටපතක් ලියූ පසු වැඩ පටන් ගන්න මුලින්ම හමුවන්නේ ඔහු ය, මගේ නාට්‍ය වල රචනය සහ අධ්‍යක්ෂණය හැර අන් සියල්ලම කර ඇති එකම ශිල්පියා ඔහු ය, මිය යන විටත් ඔහු මගේ ඊළඟ වැඩේ සැලකිය යුතු බරක් අදිමින් සිටියේ ය. මගේ කුඩා කලා ජීවිතයේ සුන්දරම අවස්ථා සහ වැඩිපුරම හිනා යන අවස්ථා මතක් වෙන්නේ භානුත් සමඟ ය. භානු සමඟ මට ඇති සම්බන්ධය ගැන ඒ කෙටි සටහන තැබුයේ ඔහු ගැන ඕන දෙයක් ලිවීමට ඔබෙන් කුඩා අවසරයක් ලබා ගැනිමටයි. එහෙත් භානු ගැන මගේ අත්දැකිම ඇසුරෙන් කිසියම් පොදු යථාර්ථයක් සොයා යන්නට උත්සාහ කරමි.

අනූව දශකයේ ආරම්භයේ වැඩමුළු හා නාට්‍ය උලෙළ හරහා විවිධාකාර අරමුණුවලින් නාට්‍ය කරන්න පැමිණියවුන් අතර භානු මට හමුවන්නේ හුදු විනෝදස්වාදය පිණිස ම නාට්‍ය කරන්න පැමිණිය එකකු ලෙසිනි. වැඩිකල් යන්නට පෙර පන්නිපිටියේ භානුගේ නිවස අපි වල බහින තැන බවට පත්විය. අම්මාද නැති තාත්තාද පාඩුවේ පැත්තකට වී සිටි ඒ නිවස කැමති කෙනෙකුට කැමති දෙයක් කරගන්නට ඉඩ හැර තිබුණි. අප පිරිසේ කාගේ හෝ නාට්‍යයක දර්ශනයෙන් පසු එක දිගට බොමින්, මල් උරමින් මද්දල් නන්දෙගේ ඩෝලයට එළිවෙනකල් ගී කියා එතනම වැටී නිදාගත්තෙමු. එවකට භානු බ්රේක් ඩාන්ස් වලට වහ වැටි සිටි අතර මම ද එසේම ඇලූම් කල බැවින් අපි කොළඹ පුරා ඇති බ්රේක් ඩාන්ස් සංදර්ශන බලන්න රෑ තිස්සේ ගියෙමු. පසුව භානු එවකට ඔහු රඟපෑ සොක්‍රටීස් නාට්‍යයට ද බ්රේක් ඩාන්ස් යොදාගත්තේ ය. කෙසේ හෝ භානුට තිබුණේත් මට මෙන්ම අපිළිවෙළක් ඇති ජීවිතයක් බැවින් අපි හොඳට සෙට් උනෙමු.

බොහෝ විට භානු නාට්‍යයකට පැමිණියේ මේකප් කර යන්නට පමණක් නොව එහි ඇති සියල්ල කර යන්නට ය. "ඇටුත් කරලා, සෙටුත් ගහලා, බසුත් බුක් කරලා, මුකුත් නැතිව ගෙදර යනවා" කියන අප අතර තිබ්බ ජනප්‍රිය විහිළු කියමනට, ඇයි මේකපුත් දාලා නේදැයි කියමින් අපි භානුට විහිළු කෙරුවෙමු. එවකට යෞවන සම්මාන මුල් වටයේ පෙන්වන නාට්‍ය වලට භානු මේකප් ඇතුළු අනිකුත් අංගවලින් උදවු කරන්නට යනවා මට මතකතය. ඒ බොහෝ තරුණ නාට්‍යකරුවන්ට ශ්‍රමයට සරිලන මුදලක් ගෙවීමට හැකියාව තිබුනා කියා මට හිතෙන්නේ නැත. බොහෝවිට ඒවා අතින් කයිට් වැඩ විය. භානුව හරියට හඳුනන්නේත් නැති නමුත් පහසුවෙන් ලබාගත හැකි බැවින් බොහෝ දෙනා මේකප් වලට කතා කරන්නේ භානුට ය.

භානුව මම දකින්නේ එච්. ආර්. ජෝතිපාල, විමල් කුමාර ද කොස්තා, සයිමන් නවගත්තේගම ආදී අනාගත සැලසුම් සහ පවුල් සංවර්ධනයට වඩා බීම, මිත්‍ර සමාගම සහ නිර්මාණයේ ආස්වාදය වින්දනය කල අයකු ලෙසිනි. කොස්තා වැන්නන් පසුකාලීනව මේ තත්වය තුළ විශාල ජීවන අර්බුද වලට පවා මුහුණ දුනි. භානු මුදල් සහ ජනප්‍රියත්වය ලැබෙනවිට පිළිවෙළක් වෙන්න කලබල නොවුන වර්ගයේ එකෙකි.

නූතන සිංහල නාට්‍ය කලා සංස්කෘතියේ භානු නියම බොහිමියානු (Bohemian) චරිතයකි. ලෝකයේ බහෝ රටවල භානුලා වැනි බොහිමියානුවෝ නගරාශ්‍රිතව ජීවත් වෙති. වැඩි මුදලක් අතේ නැත. ඕනෑම තැනක ඕනෑම විදියකට සෙට් වෙලා ඉන්න ලෑස්ති ය. ජීවත් වෙන්නේ එදිනෙදා සතුට වෙනුවෙන් ය. බීම, ගංජා, මිතුරන්, කලා රසය සහ සෙක්ස් වලට වඩා යමක් සොයා යන්න උත්සහ නොකරයි. භේද නැත. තැනකට එන්නට අදහසක් නැත. හැබැයි සියලූ දුප්පතුන් බොහිමියානුවෝ නොවෙති. බොහිමියානු යනු දැනුවත්ව හෝ නොදැනුවත්ව ජිවත් වන විදියක් මිස පොහොසත් වෙනකං බලා සිටිනා දුප්පතෙක් නොවේ. එය පිට සිට බලනා විට එක්තරා ජීවන දර්ශනයකි. සියලූම බොහිමියානුවෝ එක වගේ නොවන අතර සෑම බොහිමියානුවෙක් ම හොඳ මිනිහෙක් යන්නද ඉන් නොකියවේ. ඒත් භානු හොඳ එකෙකි!

භානු වැනි සංස්කෘතිකව වඩා විමුක්තිකාමීව ජීවත් වන්න උත්සාහ කල අවංක උන් අපේ නාට්‍ය කලාව තුළ තවත් මට හමුවී ඇත. ඒත් ඒ බොහෝ දෙනෙකු විවිධ හේතු මත නැති වී හෝ වෙනස් වී ගියහ. මට හමු වූ අයගෙන් බොහෝ දෙනෙකු නැති වී ගියේ 'මැද පන්තික ගැහැණු' කසාද බැඳ කුටුම්බ වලට ඇදගෙන යාමෙන් ය, ඒ ගියා ගියා ම ය, තාමත් උන්ට වෙච්ච දෙයක් නැත. ඒ ගෑනුන්ට එකල තරුණ වියේ සිටි ඔවුන්ව හොඳ රස්සාවක් සමඟ දිනපතා එකම තැනකින් සෙක්ස් දීමේ පොරොන්දුව මත වෙනස් කල හැකි විය. මේ වන විට මැදිවිය ඉක්මවා යමින් සිටින ඔවුන් මෙතනින් එහාට යාමට නව දර්ශනයක් සොයමින් දැන් හොඳට ස්වයං වින්දනයේ යෙදෙනවා ඇතැයි සිතමි.

සමස්තයක් වශයෙන් ගත් විට අපගේ සිංහල නාට්‍ය සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ භානුලා වැනි සංස්කෘතිකව වඩා විමුක්තිකාමීව ඉන්නට හදන චරිත වලින් නොව එහි අනිත්පැත්ත වන කලාව හරහා වැදගත් මහත්මයෙක් වන්නට හදන කුහක චරිතවලින් ය. බොහෝ අය තුළ ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ කිසියම් විවෘතභාවයක් තිබුණ ද, තමන්ගේ වැඩ ක්‍රමයෙන් මතුවන විට, කලාකරුවකු ලෙසට ලැබෙන පිළිගැනීමත් සමඟ තමා තත්වයක් ඇතිව ඉන්නා වැදගත් වගකිවයුතු සීරියස් කෙනෙක් බව පෙන්නන්ට හදයි. ඔවුන් කලාව කිරීමේ අරමුණ වන්නේ සමාජමය වශයෙන් තම පෞර්ෂය සහ බලය හදා ගැනීම ය. තවදුරටත් ඉන් පැහැදිලි වන්නේ අප නිර්මාණවලින් ප්‍රාර්ථනය කරනා සංස්කෘතික (ලිංගික) විමුක්තිය, අගතියෙන් තොර සමාජය, උසස් මිනිස් සම්බන්ධතා හා ආධ්‍යාත්මික විමුක්තිය සොයා යාම ඒ කී කලාකරුවාගේ අරගලය නොවන බවයි. ඒ කී සමාජය වෙනස් කිරීමට භානුලා වෙනම දේශපාලනයක් කළේ නැත. එහෙත් භානුලා ඒ විමුක්තියට යන මාවතේම නොවේ නම් අඩුම ගානේ ඒ ප්‍රධාන මාවතට වඩාත් ආසන්න අතුරු මාවතක ඇත්තටම ජීවත් විය.

අද වන විට බටහිර යුරෝපීය ප්‍රධාන ධාරාවේ දැවැන්ත වෘත්තීය නාට්‍ය කලාවට දරුණු චෝදනාවක් ඇත. එනම් කෘති වශයෙන් ඒවා කෙතරම් පරිසමාප්ත වුව ද නාට්‍ය කිරීමේ සමාජ උවමනාව වන සාමූහිකත්වය සහ මිනිස් සම්බන්ධතා වල බැඳීම ඒවා කරන සහ පෙන්වන වෘත්තිමය ආකෘතියෙන් අත්පත් කර ගැනීමට බැරිවීම ය. ශිල්පීන් එකිනෙකා තම තමන්ගේ කොටස කර යන අතර නැරඹීම නම් කොටස ප්‍රේක්ෂකයින් කර යයි. එය ධනපති ක්‍රමය තුළම අපව පුහුණු කරන තම තමන්ගේ වැඩක් කරගෙන කීයක් හරි හොයාගෙන පැත්තකට වී ඉඳීමම වේ. මීට එරෙහිව විවිධ විකල්ප යෝජනා තිබෙන අතර භානුත් සමඟ අප කල නාට්‍ය කලාව මතක් වන විට මට කිව හැක්කේ එදා අප නොදැනුවත්වම අපගේ නාට්‍ය තුළ මේ ප්‍රශ්නය අපට ආවේණික බොහිමියානු ක්‍රමයකට විසඳාගත් බවයි. අප එකිනෙකා බැඳී තිබුණේ වෘත්තිමය තත්වයන් තුළින් නොව මිත්‍රත්වයේ කොන්දේසි වලින්ය. එය කළ හැක්කේ භානුලා වැනි කොන්දේසි රහිතව වැඩේට බැස්ස උන් සිටිනා තෙක් පමණි.

නිෂ්පාදනයේ සිට නාට්‍ය නැරඹීම දක්වා නාට්‍ය නම් වූ මේ අසිරිමත් කලාවේ ඇති විශේෂ ලක්ෂණය නම් එය සාමූහිකත්වය සහ සහජීවනය නම් මූලික මානුෂික උවමනාවක් වටා අති සුන්දර ලෙස බැඳී තිබීමයි. කිසිවෙක් විසින් අතට ඇති තරම් මුදල් සොයාගෙන අවසන්වී, කන්ඩ ඇති සියල්ලද කා අවසන් වී, මට මොකක්ද අඩුවක් දැනෙනවා, මොකක් ද හිස් බවක් දැනෙනවා යයි කිවහොත් ඔහුට හෝ ඇයට කියන්නට ඇත්තේ "එන්න අපි නාට්‍යයක් කරමු!" කියාය. නමුත් හැමෝම කරන අරමුණින් නොව වෙනස් නාට්‍යයක් කිරීමේ අරමුණිනි. අපි දැන් නියම තැනට ඇවිත් තියනවා. අපේ අරමුණ අධ්‍යාත්මික හිස් බව පුරවාලීමය. එය ලබාගත හැක්කේ සාමූහික ආස්වාදය තුළිනි. එය නාට්‍ය නැරඹීමට පෙර නාට්‍ය හැදීමේ දී ම ආරම්භ වේ. හොඳයි එවැනි නාට්‍යයකට ගන්නේ මොනවගේ කාස්ට් එකක්ද? ඒ භානුලා වගේ උන්වයි.

-ධනංජය කරුණාරත්න [http://www.dhananjaya.net/]
(රාවය. 2013.06.30)

Wednesday, July 18, 2018

පෙරේරලාගේ කසාදේ රංගය වර්ෂ පූර්ණය කරා...


සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතියේ පළමුවෙනි නිර්මාණය ලෙස, නාට්‍යවේදී ධනංජය කරුණාරත්න ගේ නිර්මාණ අධ්‍යක්‍ෂණයෙන් යුතුව 2017 ජූලි මස 30 වෙනි ඉරිදා සිඩ්නි තදාසන්නයේ පෙමුල්වේ තරුණ මධ්‍යස්ථානයේ දී මුල්වලට වේදිකාගතවුණු "පෙරේරලාගේ කසාදේ" රංගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, ඇඩිලේඩ්, වොලොංගොං, කැන්බරා, මෙල්බර්න් සහ නිව්කාසල් නගර හයක පැවැත්වුණු දර්ශන දාහතරක් සමග ඕස්ටේ‍ර්ලියානු ඩයස්පෝරික වේදිකාවේ පුරා වසරක් සම්පූර්ණ කර ඇත.

මෙය ඕස්ට්‍රේලියානු සිංහල ඩයස්පෝරික සමාජය තුළ නාට්‍ය කණ්ඩායමක් පසු කළ සුවිශේෂී කඩඉම් අවස්ථාවක් බව අපේ විශ්වාසයයි.

"මැදි වයසට යත්ම අප සමාජයේ බොහෝ අඹු සැමියන් තුළින් කසාද බැඳි අලුත තිබූ රොමෑන්ටික් බව නැති වී යන්නේ ඇයි?" යන කාලීන ප්‍රශ්නය නිර්මාණාත්මකව සාකච්ඡා කෙරෙන, මනෝ විද්‍යාත්මක පදනමකින් නිර්මාණය කර ඇති, පෙරේරලාගේ කසාදේ රංගයේ විශේෂත්වය වන්නේ, සංවාද මණ්ඩප රංග ආකෘතියට අනුව යමින්, රංගය පැවැත්වෙන අතරතුර එහි අන්තර්ගතය පිළිබඳව ප්‍රේක්ෂකයාගේ අදහස් විමසමින්, ඒ අනුව නළු නිළියන් එම මොහොතේ ම රංගය වෙනස් කරමින් ඉදිරිපත් කිරීමයි.

පසුගිය වසරේ ජූලි 30 දින පැවැත්වූ මුල් දර්ශනයේ සිට පැවැත්වූ සෑම දර්ශනයක දී ම, ඉමහත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයට ලක් වුණු "පෙරේරලාගේ කසාදේ" රංගය පැමිණි මග මෙසේ ය.

2017 වසරේ දර්ශනඃ 1. ජූලි 30 (සිඩ්නි), 2. අගෝස්තු 13 (සිඩ්නි), 3. සැප්තැම්බර් 17 (සිඩ්නි), 4. ඔක්තෝබර් 28 (ඇඩිලේඩ්), 5. නොවැම්බර් 26 (සිඩ්නි).

2018 වසරේ දර්ශනඃ 6. ජනවාරි 27 (සිඩ්නි), 7. පෙබරවාරි 17 (වොලොංගොං), 8. මාර්තු 11 (සිඩ්නි), 9. අප්‍රියෙල් 15 (සිඩ්නි), 10. මැයි 20 (සිඩ්නි), 11. ජූනි 9 (කැන්බරා), 12. ජූනි 23 (මෙල්බර්න්), 13. ජූනි 24 (මෙල්බර්න්), 14. ජූලි 7 – (නිව් කාසල්).

පර්යේෂණාත්මක රංගයක් වන අපේ පළමුවෙනි නිෂ්පාදනය සමග ඩයස්පෝරික ප්‍රේක්ෂකයින් අතරට පැමිණ ගතවුණු පසුගිය වසරක කාලය තුළ රංග කණ්ඩායමක් ලෙස අපේ ලැබූ අත්දැකීම් සහ අප ආ ගමන ගැන තොරතුරු සැකවින් ඔබ සමග බෙදාගන්නට කැමැත්තෙමු.

සිඩ්නි නගරයේ සිංහල නාට්‍යයක් පෙන්වීමට නම්, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නළු නිළියන් කිහිප දෙනෙකු හෝ ආනයනය කළ යුතු බවට යම් මතයක් මෙහි ඇති වී තිබුණි. අප මුහුණ දුන් එක් අභියෝගයක් වූයේ එය ජය ගැනීමයි. කෙසේ හෝ අප නාට්‍ය කලාව බැරෑරුම්ව අධ්‍යයනය කිරීම සහ අභ්‍යාස කිරීම ඇරඹූ අතර එහි ප්‍රතිඵල විනිශ්චය කිරීම ප්‍රේක්‍ෂක ඔබට බාර කරමු. ලංකාවෙන් මෙහි පැමිණෙන රංග ශිල්පීන් හා අප අතර ඇති ප්‍රධාන වෙනසක් ලෙස දැන් අප දකින්නේ ඔවුන්ට අපට වඩා විෂයානුබද්ධ අභ්‍යාස කිරීමට අවස්ථාවන් වැඩිවීම වන අතර එම අභියෝගය ද දර්ශන හා නිෂ්පාදන වැඩිවීම හරහා අපට ජය ගැනීමට හැකි වේ යැයි සිතමු.

මුල් දර්ශනයේ සිට, පෙරේරලාගේ කසාදේ සෑම දර්ශනයක් සඳහාම පාහේ අප නිකුත් කළ ප්‍රවේශපත් සියල්ල දර්ශනයට පෙර ම විකිණී අවසාන විය.

ප්‍රේක්‍ෂකයා සමග ඉතා සමීපව, ඔවුන්ගේ සහභාගීත්වය ද සහිතව රංගය ඉදිරිපත් කෙරෙන ආකෘතිය සැමගේ සිත් දිනාගත් බව ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මගින් දක්නට ලැබුණි. සෑම දර්ශනයක් අවසානයේ දී ම පැවැත්වුණු රංගය පිළිබඳව සාකච්ඡාවට ද, පැදුරු සාජ්ජයට ද, ප්‍රේක්‍ෂකයින් සියලු දෙනාම පාහේ ඉතා උනන්දුවෙන් සහභාගී වූහ. අප මෙම ආකෘතිය හඳුන්වා දුන්නේ දියුණු නාට්‍ය සංස්කෘතියක් පවතින බොහෝ සමාජයන් හි දක්නට ලැබෙන ආකාරයේ ප්‍රේක්‍ෂකයා සහ නාට්‍යකරුවා අතර ඇති සමීප කතිකාව අප අතරේ ද ඇති කිරීමටයි.

රංගය නැරඹූ ප්‍රේක්‍ෂයින් තමන්ගේ හිතවතුනට ද ඉදිරි දර්ශන නැරඹීම සඳහා යෝජනා කිරීම සහ ප්‍රවේශපත්‍ර විකිණීමට ඉදිරිපත් වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ප්‍රවණතාවක් විය.

අපේ දෙවෙනි දර්ශනය සඳහා විශේෂයෙන් ම පැමිණ සහභාගී වූ ඇඩිලේඩ් නගරයේ වෙසෙන ප්‍රේක්‍ෂකයෙකු වන මලීන් දිසානායක විසින් ඉන් පසුව සිඩ්නි නගරයෙන් පිටත පැවැත් වූ අපේ මුල් ම දර්ශනය එහි සංවිධානය කරන ලදී. එය අපේ පළමුවෙනි අන්තර් ප්‍රාන්ත දර්ශනය ලෙස සුවිශේෂී අත්දැකීම් අපට ලබා දුන් අතර, එවැනි ඉදිරි දර්ශන සඳහා හොඳ මග පැදීමක් ද ඇති කළේ ය.

සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මුදලින් ආධාර කිරීමට අපේ ප්‍රේක්‍ෂකයින් නිරතුරු ඉදිරිපත් වූහ. එක් එක් ප්‍රේක්‍ෂයින් විසින් ඩොලර් පහේ සිට පනහ දක්වා වූ විවිධ ප්‍රමාණයේ ආධාර අපට ලබා දී තිබුණු අතර එක් දර්ශනයක් අවසානයේ අපට ඩොලර් 400 ක මුදලක් ද ආධාර ලෙස ලැබී තිබුණි.

ප්‍රේක්‍ෂකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් දෙතුන්වරක් ම "පෙරේරලාගේ කසාදේ" රංගය නැරඹීමට පැමිණියහ.

දර්ශන ප්‍රමාණය වැඩිවෙත්ම, මුල් දර්ශන කිහිපයට සහභාගී වූ නළු නිළියන් සිව් දෙනාට අමතරව, තවත් නළුවෙකු සහ නිළියක පුහුණු කර රංගයට එක් කිරීමට ද අපට හැකිවිය. එසේ ම, සාමාන්‍යයෙන් ඕනෑම නාට්‍යයක දී, නළු නිළියන් ගේ රංගනය වර්ධනය වන්නේ දර්ශන වැඩි වැඩියෙන් පැවැත්වෙන විට නිසා, අපේ නළු නිළියන් සියලු දෙනාම ඉතා දියුණු තත්වයකට තම රංගනය වර්ධනය කරගෙන ඇතැයි අපි සිතමු.
ප්‍රේක්‍ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර ද එකතු කරගනිමින්, පෙරේරලාගේ කසාදය රංගයේ අන්තර්ගතය නිරන්තරයෙන් වැඩි දියුණු කරන ලද අතර ආකෘතිය ද නැවත නැවත ප්‍රතිනිර්මාණය කරන ලදී. වර්තමානයේ දර්ශනය කෙරෙන්නේ පසුගිය වසරේ ආරම්භ කළ රංගයට වඩා සැලකිය යුතු පරිදි වෙනස් වූ නිර්මාණයකි.

පෙරේරලාගේ කසාදය නැරඹූ ප්‍රේක්‍ෂකයින් අතරින් කිහිප දෙනෙකු අලුත් සාමාජිකයින් ලෙස අපේ රංග කණ්ඩායම සමග එක්වීම ද විශේෂයකි. පසුගිය කාලය තුළ අපි අලුත් සාමාජිකයින් වෙනුවෙන් සහ රංග කලාව පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පිරිස් වෙනුවෙන් නාට්‍ය වැඩමුළුවක් ද සංවිධානය කළෙමු.

අපේ මීළඟ නිෂ්පාදනය ලෙස ඉදිරිපත් කරන්නට සැලසුම් කෙරෙන සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමාපියන් තම දරුවන් ඇතිදැඩි කළ යුත්තේ ඕස්ට්‍රේලියානු වටිනාකම්වලට (values) අනුව ද, නැතහොත්, තමන්ගේ ශ්‍රී ලාංකීය වටිනාකම්වලට අනුව ද?" යන මාතෘකාව පිළිබඳව ප්‍රේක්ෂක ප්‍රජාවේ අදහස් ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් සංවිධානය කළෙමු. ඒ දෙවන නිෂ්පාදනයේ මූලික වැඩකටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

අපේ පසුගිය දර්ශන සියල්ලම අවසන් වූයේ, උණුසුම් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර, ගී ගායනා, නැටුම් සහ නාට්‍ය කණ්ඩායමක් ලෙස අපව තව තවත් එකිනෙකා සමග සහ ප්‍රේක්‍ෂකයින් සමග සමීප කරවන සොඳුරු අත්දැකීමක් ලෙසින් නිසා, ඊළඟ දර්ශනය පැවැත්වෙන තෙක් අප සිටින්නේ නොඉවසිල්ලෙන් බව ද කිව යුතු ය.

පසුගිය වසරක කාලයක් තුළ ලැබූ ඒ අත්දැකීම් සමුදාය සමගින් පෙරට ඇදෙන "පෙරේරලාගේ කසාදේ" රංගයේ ඉදිරි මග වැටී ඇත්තේ මෙසේ ය.

ඉදිරි දර්ශනඃ 15. අගෝස්තු 11 (සිඩ්නි, පේරාදෙණිය විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කෙරේ), 16. අගෝස්තු 18 (කැන්බරා), 17. සැප්තැම්බර් 1 (ගෝල්ඩ් කෝස්ට්), 18. සැප්තැම්බර් 2 (බ්‍රිස්බේන්).

සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතියේ අපේ කණ්ඩායම මෙසේ ය.

සිසිර අස්සැද්දුමගේ, ධනංජය කරුණාරත්න, දේවිකා ප්‍රනාන්දු, මිහිරි ප්‍රනාන්දු, අනිල් ප්‍රනාන්දු, ප්‍රසන්න සම්පත් ජයවීර, සෑම් මාසාච්චි, සුජීව මුදලිගේ, උපෙකා පැස්කුවල්, රසික සූරියආරච්චි, මලීන් දිසානායක, ලාල් දිසානායක, මධු අරම්පත්ත, රේණු ලියනගේ, සුදු රත්නප්පුලි.

"පෙරේරලාගේ කසාදේ" පසුගිය දර්ශන නැරඹීමට පැමිණි ප්‍රේක්‍ෂක සැමටත්, අපට නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමටත්, සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතියේ ආදර ස්තුතිය මෙයින් පිරිනමමු.

සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය [http://www.sctp.org.au/]

Tuesday, July 10, 2018

නාට්‍යය, වේදිකාව, රංගය සහ මෙල්බර්න් - තුන්වන කොටස


මෙල්බන් පුරවර සිටින අප, තම ප්‍රජාව ආශ්‍රිත රංගයන් බොහෝමයක් නැරඹීමට අවස්ථාව ලද්දෝහු ය. ඇතැමෙක් ඒ රංග ක්‍රියාකාරකම් ප්‍රයුංජනයෙහි ලා දායක වන්නොහුය. මේ රංග ක්‍රියාකාරකම් හි ආකෘතීන් සහ වර්ග විශේෂයන් හි පරාසය සංකීර්ණය. එය පෙර කී පරිදි, මෝස්තර නිරූපණය, අවුරුදු පොළක සාස්තර කීම හෝ කඨින පිංකමක නර්තනයේ සිට, සංවර්ධිත නර්තන, සංගීත වේදිකා නාට්‍ය රංග දක්වා පරාසයකට අයිතිය. එහෙත්, අවුරුදු පොළක අංගයක් හෝ මෝසතර නිරූපණයක් යන්න රංගයක් යන අර්ථයෙන් ලා බොහෝ දෙනෙක් නොසලකති. එයට හේතුව වන්නේ ඔවුන්ගේ නිර්ණායක සැකසී ඇත්තේ රංග කලාව පිළිබඳ දැනට පවතිනා පොදු මතවාද අනුව නිසාය. එබැවින් 'නාට්‍ය' යන වචනය ඇතැමෙකුට දැනෙනුයේ දෙබස්, නර්තන, සහ සංගීත සහිත ප්‍රසාංගිකාත්මක කාර්යයක් ලෙසය. එහි වැරැද්දක් නොමැත. පෙරදිග, විශේෂයෙන්ම සංස්කෘත රංගවේදයේ හි දස වර්ගයක් ලෙස දක්වන රංග විශේෂතා අතර වැඩි වශයෙන් අසාධාරණයට ලක් කොට ඇත්තේ ද, අප ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව වැඩි වශයෙන් නියෝජනය කරන්නේ ද, දෙබස් සහිත කථන රංග ස්වරූපයන් ය.

ඒ සංකීර්ණතාවය අවබෝධ කරගැනීම සඳහා, සංස්කෘත නාට්‍ය කලාවේ දක්වන වර්ගීකරණයක් වන 'නෘත', 'නෘත්‍ය' සහ නාට්‍ය පිළිබඳ අවබෝධය වැදගත්ය. 'නෘත්‍ය' සහ 'නාට්‍ය' ඉහත කී ලෙසම සංවර්ධිත අවස්ථා වන අතර, 'නෘත' ලෙස හඳුන්වනු ලබන්නේ හුදු රංග රූපී ක්‍රියාව ය. පෙරදිගට අනුව, නාට්‍ය කී කල්හි, පෙළ මෙන්ම රංගය ඇතුළත් නමුදු නූතන අපරදිග දැක්ම අනුව නාට්‍ය (drama) යනු පෙළ මූලික සාහිත්‍යමය තත්වයකි. වේදිකාව (theatre) යනු, අධ්‍යකෂකයෙකු විසින් වේදිකාව හෝ පිළිගත හැකි රංග අවකාශයක රංග ක්‍රියාවක් බවට අනුවර්තනය කළ දෙයකි. රංගය (performance) යනු මේ සියල්ල ඇතුළත් 'ආවරන' නාමයකි. එහි 'නෘත' සිට 'නාට්‍ය' දක්වා සියල්ල අඩංගු ය. රංගය නිශ්චිත පෙළක් මෙන්ම අධ්‍යක්‍ෂකයෙකු නොමැතිව ඇති විය හැක. එය සම්ප්‍රදායික රංග කලාවට වඩා සංකීර්ණ ය. එමෙන් ම, එහි සම්ප්‍රදායික නළුවා සහ ප්‍රේක්‍ෂකයා සංකල්පය ද වෙනස් ය. මේ පිළිබද ඉදිරියේදී කතා කරනට කැමැත්තෙමි.

ඉහත රංග රූපී ක්‍රියා ගැන කතාවට මා පිවිසුණේ, නිර්මාණකරුවෙකු හෝ ප්‍රේක්‍ෂකයෙකු ලෙස මේ විෂයෙහි නිරතවෙන්නා ගේ දැනුවත්භාවය උදෙසා ය. අවබෝධාත්මක ප්‍රේක්‍ෂකයා සංස්කෘත කලා සිද්ධාන්ත (නාට්‍ය ශාස්ත්‍රයේදී) හැඳින්වූයේ 'සුම්නස්' කියාය. අභිනවගුප්ත වැනි පසුකාලීන සිද්ධාන්තකරුවන් මෙය හඳුන්වන ලද්දේ 'සහෘදයා' යන වචනයෙනි. එනමුඳු, ඉවක් බවක් නැතිව කීම නිසා මෙහි අර්ථය ගෙවී ගොසිනි. 'සහෘදයා' යනු 'නිර්මාණකරුවා හා සමාන හෘදයක් ඇත්තා වූ' හෙවත් නිර්මාණයෙන් නිර්මාණකරුගේ ආකල්ප එලෙසම පිරිසිඳ දකින්නා ය. එහෙත්, එකට වැඩෙන ඇතැම් නිවුන්නු ද රසය අතින් වෙනස් ආකල්ප දරන අයුරු දකින කළ නිර්මායක 'සහෘදයා' යන්න මට ගැටලුවකි.

මා යෙදීමට කැමති 'සුම්නස්' යන වදනයි. 'සුම්නස්' ප්‍රේක්‍ෂකයෝ ආවාට ගියාට පහළ වන්නේ නැත. එය වර්ධනය කරගත යුතු තත්වයකි. ගුණාංග වල එකතුවකි. නාට්‍ය ශාස්ත්‍රය දක්වන පරිදි එවැනි ප්‍රේක්‍ෂකයා ප්‍රසන්න මනෝභාවකින් ද, යම් අධ්‍යාපනයකින් ද, යහපත් චරිතයකින් ද, පරිණතභාවයකින් ද, කලා කුසලතාවයෙන් ද, මෙන්ම රංග කලා විධීන් පිළිබඳ දැනුමකින් ද යුතුවීම අවශ්‍ය ය. මා දකින්නේ, නිර්මාණකරුවකු සතත අභ්‍යාසයෙන් තම කුසලතා දියුණු කරගන්නාක් මෙන්ම, ප්‍රේෂකයා ද ඒ තත්වය අත්කළ ගත යුතු බව ය. විවිධ රංග නැරඹීමෙන් ද, ඒ පිළිබඳ වැඩි දුර කියවීමෙන් ද පමණක් නොව, ඒ ගැන සිතීම නිසා ද ප්‍රේක්‍ෂයා පරිණත සහ දැනුවත් භාවයට පත් වෙතැයි මගේ හැගීම ය.

කෙසේ වෙතත්, නිර්මාණ කිරීමේදී මෙන්ම නිර්මාණ වින්දනය ද සිදුවන්නේ පුද්ගල රුචි අරුචිය සහ රසය අනුව ය. අපරදිගයන් 'අත්දැකීම' යැයි කීවද පෙරදිග, බොහෝවුන් නිර්මාණකින් විදින්නේ 'රසයක්' හෙවත් සෞන්දර්යාත්මක සංතෘෂ්ටියක් ය. මා කලකට පෙර මෙල්බර්න් නුවර ප්‍රේක්‍ෂගාරයක කළ සමීක්‍ෂණයකින් හෙළිවූයේ බහුතරයක් හාස්‍ය සහ ශෘංගාර රස ජනිත නිර්මාණ නැරඹීමට කැමති බව ය.

අලුතින් යමක් නැරඹීමේ දී, ඒ පිළිබඳ වටහා ගැනීම සහ රීතින් හඳුනා ගැනීම, රස වින්දන පරාසය පුළුල් කිරීමට හේතු කාරකයකි. රසය හෝ මූලික අත්දැකීම එය ඉදිරිපත් කරනා ආකෘතිය හෝ රංග වර්ගය තීරණය කිරීමට හේතු කාරකයකි. ග්‍රීක නාට්‍ය කලාවේ ඇවෑමෙන් අපරදිග රංග කලාව අත්පත් කරගත් 'ට්‍රැජ්ඩි' සහ 'කොමඩි' වර්ගයේ නාට්‍ය විශේෂතාවයන් ප්‍රධාන කරගන්නේ 'ශෝක' හෝ 'හාස්‍ය' ජනනය කරනා ක්‍රියාවලිීන් ය. ඒ සඳහා යොදා ගන්නා රීතීන් අනුව රංග වර්ගීකරණය (genres) ඇතිවේ.

සංස්කෘත නාට්‍ය ධර්ම අනුව හාස්‍ය හෝ ශෝකය යනු රසයන් ය. රසය ජනනට වනුයේ 'අනුභාව', 'විභාව' සහ 'ව්‍යාභිචාරීභාව' යන්නේ එකතුව නිසා කියා ය. ඒ අනුව ශෝක, කරුණා, හාස්‍ය, ශෘංගාර වැනි රස ජනනය වේ. මේවායින් එකක් හෝ කිහිපයක් රංගයක ප්‍රධාන වෙයි. උදාහරණයකින් වැඩිදුර පැහැදිලි කරන්නේ නම්, ශෘංගාරය නම් රසය ඇතිවීමට හේතුවන්නේ ප්‍රේමවන්තයෙකු සහ ප්‍රේමවන්තියක අතරෙහිය. (මේ සම්ප්‍රදායික උදාහරණය පිළිබඳව කමත්වා!) දෙදෙනාගේ දැක්මෙන් උත්තේජනය වන මූලික භාවය 'රති' නම් සථී්ර භාවයයි. එය පාරිසරික සාධක (ප්‍රේමයට උචිත මද අඳුර, සුවඳ, සඳ එළිය) මත තීව්ර වෙයි. වාචික අවාචික අභිනය මගින් එය ප්‍රකාශ කිරීම 'අනුභාව' ය. ව්‍යාභිචාරිිභාව යනු එම සථී්ර භාව රසයක් බවට පත්කිරීමට කරනා භාවමය විපර්යාසයයි.

රසය, ප්‍රේක්‍ෂකයා සහ නිර්මාණකරුවා (නළු නිළියන්) දෙපාර්ශවයම එක්ව විඳින්නක් යැයි කිව හැක්කකි. චිත්‍රපටයක උද්වේගකර සටනකදී ඔබ ආතතියෙන් නරඹන්නේත්, ශෘංගාරාත්මක ප්‍රේම ජවනිකාවක උණුසුම් හැඟීමක් දනවන්නේත්, ඔබ ද රස විඳිනවා මෙන්ම එම රංග ක්‍රියාවේම කොටසක් බවට පත්වන බැවින් ය. මේ ගැන වැඩිදුර සිතන්නේ නම් ඔබ නිර්මාණකරුවකු සහ ප්‍රේක්‍ෂකයෙකු බවට එකවර පත්වෙන අයුරු වටහා ගත හැකි ය. කාගේ නිර්මාණයක් නැරඹුවත් ප්‍රේක්‍ෂකයා එය විඳින්නේ තම අත්දැකීම් පදනම් කරගෙන ය. තමාට එම අත්දැකීමේ හි සමීපභාවය අනුව සහ සංවේදිතාව අනුව, දැනෙන හැඟීම හෝ රසය වෙනස් විය හැකිය.

එමෙන් ම, එදිනෙදා ජීවිතයේදී ද අප රංගවේදීහූ සහ ප්‍රේක්‍ෂකයෝ බවට පත්වෙති. එම සංසිද්ධීන් පිළිබඳ විශ්ලේෂණය ද රංග කලාවට අයිති දෙයකි. පෙර සඳහන් කළ රංගකලා සිද්ධාන්ත අනුව එය උදාහරණ මගින් විස්තර කරනු මම කැමැත්තෙමි. යමෙක් ගමනක් යෑමට සූදානම්ව ඒ සඳහා සුදුසු සේ සැරසීම, තම ගමනේ ස්වභාවය ද, තමාගේ තත්වය ද, සහ ඒ මුණගැසෙන පුද්ගලයන් තමා දකින්නට කැමති ආකාරය ද ආදිය සිතා හෝ නොසිතා සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියකි. එම තැනත්තා තම ස්වරූපය හෝ ප්‍රතිරූපය සදහා ප්‍රේක්‍ෂාවක් අපේක්‍ෂා කරයි. ඒ අනුව අතට හසුවෙන යමක් ඇඟට දමාගෙන යන්නෙක් පවා ප්‍රේක්‍ෂාවක් බවට පෙරළනු ලබයි. ශරීරයේ මස් පිඬු ව්‍යායාම මගින් වර්ධනය කරගැනීමෙන් ද, සිහින් සිරුරක් ගොඩ නැංවීමෙන් ද, පච්චා මගින් ශරීරය කැන්වසයක් බවට පත් කිරීමෙන් ද, කරන්නේ නිරූපණය යි. එහි දී ද පළමු ප්‍රේක්‍ෂකයා වන්නේ එහි නියුක්තවන්නා ය. මෙය ද රසවිඳීමකි.

එමෙන් ම ස්වභාවික අලංකාරයක් හෝ මනුෂ්‍ය නිර්මිත අලංකාරයක් නැරඹීම ද මේ හා සමාන ක්‍රියාවලියකි. එහි දී හුදකලාව හෝ සමූහයක් ලෙස එම අත්දැකීම වින්දනය කරනු ලබයි. නිර්මාණය ස්ථිරව පවතින අතර, නරඹන්නෝ නියුක්තිකයෝ සහ ප්‍රේක්‍ෂකයෝ බවට පත්වෙති. සමූහයක් ලෙස නරඹන්නේ නම්, අනෙකුන් ගේ ප්‍රතිචාර ද, එම ප්‍රතිචාර මගින් ගොඩනැගෙන අනෙකුන්ගේ දායකත්වය ද, ඒ නරඹන්නන් අතර තමා නරඹන දෙය මූලික කරගනිමින් කරනා රංග ක්‍රියා ගනුදෙනුවකි.

ඔබ රංගයක් නැරඹීමය ගිය අවස්ථාවක් සිහි කැඳවයි නම්, එහි වූ ප්‍රේක්‍ෂකාගාරයේ හෝ ඒ රංග භූමියට පිවිසීමේ සිට රංගයේ කොටස් කරුවෙකු වූ බව සිහිපත් කරගත හැක. ඇතැම් නිර්මාණකරුවෝ දැනුවත්ව ම, ප්‍රේක්‍ෂක ආලින්දය ද රංග අවස්ථාවක් බවට පත් කරගනිති. The God King Drama (2014) නාට්‍යය Monash Performing Arts Center හි නැරඹා ඇත්නම් මේ කියන කාරණය සිහි කැඳවිය හැකිය. ඔබ නැවත වාරයක් ඕනෑම රංගයක් බලනට යන කළ මේ අවබෝධද රැගෙන යන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

-තරංග දන්දෙනිය [https://www.facebook.com/tharanga.dandeniya]

පසු සටහන:

ෆෝරම් තියටර් (Forum Theatre) ආකෘතිය මනාව අනුවර්තනය කරමින් සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය සඳහා ධනංජය කරුණාරත්න නිර්මාණය කළ "පෙරේරලාගේ කසාදය" රංගය මෙයට තවත් අගනා උදාහරණයකි. ධනංජය ගේ බොහෝ රංගයන් හි මෙකී ලක්ෂණය දැකිය හැක.

නාට්‍ය, වේදිකාව, රංගය සහ මෙල්බර්න් ප්‍රජාව - දෙවන කොටස


ඕනෑම ඉතිහාසයක් සැලකීමේ දී එම ඉතිහාසයේ ජීවත් වීම මෙන් ම එම ඉතිහාසය වාර්තාකිරීම ද සංකීර්ණ ය. තමා ජීවත් වූ කාලයේ ඉතිහාසය වාර්තාකරන්නාහට පවතින සමාජ ධාරාවේ ආකල්ප සහ පෞද්ගලික ආකල්පවලින් මිදීමට අපහසු ය. ඇතැම් විට එය බලවන්තයා සහ අනුවර්තකයා පිළිබඳ සටහනකි. තමන්ට පෙර කාලයක දේ සටහන් කරන්නා හට සිදුවන්නේ අනුන්ගේ මතකය ඔස්සේ යෑමට හෝ ඉතුරු වී ගිය සටහන් මගින් කල්පිතයක් ගොඩ නැංවීමට ය. එමෙන් ම, වාර්තාකරන්නාහට යම් සිදුවීම් සමුදායක් තෝරාගන්නට ද සිදුවෙයි.

යම් සංසිද්ධියක් යනු එයට සහභාගි වූ සහ ප්‍රතික්‍රියා දැක් වූ බොහෝමයක එකතුවෙන් හටගන්නක් වුව ද සටහන් වන්නේ අතළොස්සක් ගැන පමණක් ය. එබැවින් බොහෝ ඉතිහාස පොත්වල ඇත්තේ රජුන් සහ සෙනෙවියන්ගේ නම් පමණක් ය. (ඔවුන්ගේ බිසෝවරුන්ගේ බලපෑම් බොහෝ වුව ද ඒවා ද නොසලකා තිබේ.)

කලා කටයුතු පිළිබඳ ඉතිහාසය ලිවීමේදී ද මේ ධර්මතාවය අඩුවැඩි වශයෙන් බලපවත්වනු ලැබේ. සාමුහික ක්‍රියාවක් වන කලා ක්‍රියාකාරකම් සටහන් කිරීමේ දී ඇතැම්විට පුද්ගල නාම ගිලිහී යා හැක. එහෙත් සිදුවීම් ලිවීම ප්‍රයෝජනවත් ය. මෙල්බර්න්හි රංග කලාවේ ප්‍රවණතා පිළිබඳ ලියනා මේ ලිපියෙහි ඇති කරුණු වෙනත් අයුරකින් ඉදිරිපත් කිරීමට සහ අඩුතැන් පිරවීමට විවෘත ය. එය කුමන මාධ්‍යකින් හෝ සිදුකළ හැකි ය.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය රංගයක් ඉදිරිපත් වී නම් එය මෙරටට සංක්‍රමණයවූවන් ගේ මුල් ඉතිහාසය තෙක් දිවෙන බව පැහැදිලි ය. එම රංගය, ඒ සංක්‍රමණිකයින් තම මතකය ඔස්සේ කී කවියක් හෝ පදමට රත්වීමෙන් පසුව කෙරෙනා විලම්බීත නැටුමක් විය හැකිය. වර්ෂ 1871 ජන සංගණනයට අනුව 58 දෙනෙක් වූ ශ්‍රී ලාංකිකයෝ ද, එයටත් බොහෝ පෙරාතුව, ඕස්ට්‍රේලියාවේ (වික්ටෝරියා ප්‍රාන්තයේ) සිතියමට 'බඩගිනි' (Baddaginnie) නමින් ගමක් නම් කළ ශ්‍රී ලංකාවට සබඳකම් කියූ මිනින්දෝරුවෝ ද මෙලෙස ප්‍රසාංගික අංග තම සංතෘෂ්ටිය උදෙසා හෝ මිතුරු සමාගම් හිදී සිදුකළ බව අනුමාන කළ හැක්කේ රසඥතාව හෝ කලා ප්‍රකාශනාත්මක හැකියාව මිනිසා ළඟ ඇති බැවින් ය.

විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියාව යනු ශ්‍රී ලාංකීය සංක්‍රමණිකයන්ගේ ජනප්‍රිය නවාතැන් පොළක් නොවන්නේ අනෙක් බටහිර රටවලට සාපේක්‍ෂව මෙරට තිබූ අඩු පහසුකම් නිසා පමණක් නොව 1901 දෙසැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් 'සුද්දන්ට පමණක්' වූ White Australia Policy පනත මගින් සිදු කළ හම සුදු නොවන්නා වූ (බ්‍රිතාන්‍යය වැනි ඉංග්‍රීසි මාතෘ භාෂක) සංක්‍රමණිකයන්හට ඉදි කළ වැට නිසාය. මෙම නීතියේ ප්‍රතිඵල ලෙස සංක්‍රමිණකයන් නැවැත්විමට හැකි වුණේ ඒ සඳහා වූ කියවන විට ලිවීමේ විභාගය නිසා ය. බ්‍රිරිතාන්‍ය ජාතිකයන් නොවන්නන්හට එසේ දුන් වචන 50ක ඡේදයක් අති නිවැරදිතාවයකින් ලිවීමට වූ අතර 1909 වසර වන විට 1359 වතාවක් පැවැත්වූ විභාගවලින් සමත්ව තිබී ඇත්තේ 53 දෙනෙක් පමණක් ය. අසමත් වූවන් ආපසු හරවා යවන ලදී. වර්ෂ 1909 සිට මේ පරීක්‍ෂණය තවත් අසීරු කළ නිසා, දශක ගණනාවකට පසු ඒ නීති ලිහිල් කරන තෙක්, කිසිවෙකු ද මේ කියවන විට ලිවීමේ විභාගය සමත්ව නොතිබිණි. සංක්‍රමණිකයන් ගැන වූ ජන සංගණන සටහන් අනුව 1933 දී පවා වික්ටෝරියාවේ සිටියේ 'බර්ගර්' ජන කොට්ඨාශයේ පුද්ගලයෝ 130 දෙනෙක් පමණක් ය.

දෙවන ලෝක යුද්ධයට සමගාමීව යුරෝපියානු සරණාගතයන්හට ඕස්ට්‍රේලියාවේ වාසයට ඉඩ සැලසුණාක් මෙන් ම 1948 දී ශ්‍රී ලංකාවට හිමි වූ 'ඩොමිනියන් නිදහස' හේතුකරගෙන රටින් පිටව ආ ශ්‍රී ලංකාවේ වාසය කළ 'යුරේසියානු' කණ්ඩායම්හට ද ස්වල්ප කාලයකට පසු පොදු ශ්‍රී ලාංකිකයන් අතළොස්සකට ද තාවකාලිකව ඕස්ට්‍රේලියාවට ඒමට ඉඩ සැලසුණි. අපට මූලිකව හමුවන රංග කලා ක්‍රියාකාරකම් ඔවුන්ගේ දායකත්වයෙන් සිදු වූ ඒවා ය.

වර්ෂ 1950 දී කොළඹදී පැවැත් වූ කොමන්වෙල්ත් රටවල විදේශ ඇමතිවරුන් සම්මන්ත්‍රණයේදී යම් යම් ක්‍ෂේත්‍රයන් හි අභිවෘද්ධීය සහ වෘත්තිකයන්ගේ පුහුණුව උදෙසා වැඩ පිළිවෙළක් ලෙස ආරම්භ කළ Colombo Plan Scholars වැඩසටහන මෙනුවර ප්‍රජා සංස්කෘතික වැඩසටහන් සඳහා යම් බලපෑමක් සිදු කරන ලදී. ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයන් හි ව්‍යාපෘතියක් සමගම උසස් උපාධී පර්යේෂණ වෙනුවෙන් පැමිණි පිරිස ද මෙම දශකයේ රංග කලාවේ ආරම්භක සිළු දැල්වූවෝ ය. ඒ හා සමගාමීව පැමිණි එවකට තරුණියෝ වූ මාලිනී ජයමංගල සහ කාරියවසම් 1958 දී මෙල්බර්න් හි පැවති ප්‍රජා උත්සවයන් උදෙසා ශ්‍රී ලාංකීය නැටුම් අංශයක් ඉදිරිපත් කරන ලදී. පසුව බ්‍රිස්බෙන්හි ශ්‍රී ලාංකීය ශිෂ්‍යයෙකුගේ ආරාධනයෙන් සහ අනුග්‍රහකත්වය යටතේ එහි ශිෂ්‍ය උත්සවයක් නියෝජනය කිරීම සඳහා ඔවුහු ගෙන්වා ගත් බව කියවේ. එකල සිටි ලාංකිකයන් තම අනන්‍යතාව ඉදිරිපත් කළ තවත් රංග ක්‍රියාවක් වුයේ සම්ප්‍රදායික ඇදුමින් සැරැසී පැජන්ට් සදහා ඉදිරිපත් වීමයි. (මේ තොරතුරු ඔවුනගෙන් අසා මට පැවසුවේ 70 දශකයේ අග සිටම මෙනුවර ප්‍රජා කලා කටයුතු වලදී කැපී පෙනෙන දායකත්වයක් දුන් රත්නා ගුරුසිංහ ය.)

එක්දහස් නමසිය පනහේ දශකයේ දී අධ්‍යනය සඳහා මෙරටට පැමිණි සිටි සිසුන් අතරින් දයාල් අබේසේකර, චන්න විමලරත්න ආදීහු ප්‍රධානව Sri Lankan Club නම් සංගමයක් ආරම්භ කළ අතර එහි දිගුවක් ලෙස සැලකිය හැකි Ceylon Student Association නමින් ආරම්භ කළ සංවිධානය 80 දශකය මැද වන තුරාම මෙරට කලා හා සංස්කෘතික කටයුතු සඳහා කේන්ද්‍රයක් වූ සංගමයක් විය. පසුව ආචාර්ය උපාධිය හිමිකර ගත් දයාල් අබේසේකර තම වෘත්තීය ආයතනය වූ Swinburne College of Technology හි ඉඩකඩ ඉල්ලාගෙන කරු ලියනාරච්චි (පසුව ආචාර්ය) වැනි 70 දශකයේ අග භාගයේ සංක්‍රමණය වූ පිරිස් සමග මූලිකව කළ සිංහල අවුරුදු උත්සව වැඩසටහන් මගින් සංක්‍රමණික පවුල් හට තම කලා කුසලතා හෙළි දැක්වීමට අවස්ථා සැපයීය. Sri Lankan Club හි වැදගත්කම වන්නේ 1983 දී ශ්‍රී ලංකාවේ ජාතිවාදී කලබල වලින් පසු සිත් බිඳීම් සහ වෙන්වීම් ඇති වන තෙක් ම සිංහල දෙමළ ජන කොට්ඨාශ එක්වූ සංගමයක් වීම ය. මුස්ලිම් බර්ගර් ආදී අනෙක් ජනකොටස් ද ඒ වටා විය.

එක්දහස් නමසිය පනහේ සහ 1960 දශකයේ Colombo Plan Scholars වැඩසටහන යටතේ පැමිණි බොහෝ අයට නැවත මව් රට කරා යෑමට සිදු වූ අතර 1970 දශකයේ සංක්‍රමණික නීති වෙනස් වනතුරුම ප්‍රජාව අතරින් පැන නැගියා වූ කලා කටයුතුවල දීර්ඝ කාලීනව බලපවත්නා ප්‍රගතියක් නොවුණි. එබැවින්, රංගකලා ක්‍රියාකාරකම් හි ප්‍රබෝධයක් හටගන්නේ 1973 දී White Australia Policy ඉවත් වීමත් සහ 1975 දී Racial Discrimination Act සම්මත කරගැනීමත් සමග ක්‍රමයෙන් වැඩි වූ සංක්‍රමණික ධාරාව නිසා ය.

පසුගිය ලිපියේ ද සඳහන් කළ පරිදි නර්තන කණ්ඩායම් රාජ්‍ය සහ පෞද්ගලික සංගම් අනුග්‍රහය මත මුල් යුගයේදී මෙරට සංචාරය කරන ලදී. මෙරටට පැමිණි ප්‍රාන්ත කිහිපයක ම රඟ දැක්වූ සහ පිළිගත් රංග උළෙල සඳහා සහභාගි වූ චිත්‍රසේනයන්ගේ රංග කණ්ඩායම් 1963 දී සහ 1972 කළ සංචාරයන් මේ අතර ප්‍රධාන ය. චිත්‍රසේනයන්ගේ ගේ මුල් සංචාරයේදී ඔහු 'කරදිය; මුද්‍රා නාට්‍යය හෝ 'නළ දමයන්ති' සහ මුද්‍රා නාට්‍යය ද්වයයෙන් එකක් සමග තවත් ජන නැටුම් අංග සහිත වූ රංග වැඩ සටහන් දෙකකින් එකක් ඉදිරිපත් කරන ලදී. දෙවෙන චාරිකාවේ දී බෙර වාදන සහිත උඩරට සහ පහතරට නැටුම් සහ ජන නාට්‍ය ඇතුළත් ප්‍රසංග වැඩ සටහන් දෙකකින් එකක් ඉදිරිපත් කරන ලදී. ආචාර්ය කරු ලියනාරච්චි සමඟ රෝහණ කරුණාරත්න කළ සාකච්ඡාවේ දී කරු ලියනාරච්චි මහතා සඳහන් කර තිබුණේ, 70 දශකයේ Sri Lankan Club හරහා ගෙන් වූ එවන් නැටුම් කණ්ඩායමක් Monash විශ්ව විද්‍යාලයේ Robert Blackwood ශාලාවේ පැවති රංගනයක දී, ඔහු සහ ආනන්ද ජයසිංහ, බිත්තියේ ගසනා යක් මුහුණක් නැටීමට ගන්නා මුහුණක් බවට පරිවර්තනය කර තමාගේ ම ශෛලියකින් යක් නැටුමක් නැටූ බව ය.

එක්දහස් නමසිය හැත්තෑවේ දශකයේ සිදුවූ මේ කුඩා ක්‍රියාකාරකම්, අද පවතින රංග ක්‍රියාකාරකම් සඳහා තැබූ මුලික පසුබිම ය. එම රංග ක්‍රියාකාරකම් විමසිය යුත්තේ ඒ යුගයේ සිටි සංක්‍රමණික ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සහ සම්පත් පුද්ගලයන්ගේ ශක්‍යතා අනුව ය.

(මතු සම්බන්ධයි)

-තරංග දන්දෙනිය [https://www.facebook.com/tharanga.dandeniya]

මෙම ලිපිය සඳහා ඇතැම් කරුණු සොයා ගැනීමේදී උපකාර කළ රත්නා ගුරුසිංහ මහත්මියටත්, උපා උපදාස මහතාටත්, රෝහණ කරුණාරත්න මහතාටත් විශේෂ ස්තූතිය හිමිවෙයි.

2017 ජුලි මස ඕස්ට්‍රේලියාවේ සන්නස පුවත්පත (First published in Sannasa Magazine - July 2017 - http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page05.pdf)

ලිපියේ පළමුවෙනි කොටස- https://sydneycolombotheatre.blogspot.com/2018/07/blog-post_9.html