Sunday, July 29, 2018

බොහිමියානු භානුවා


භානු ප්‍රසන්න අප මිත්‍රයා අප හැරදා ගොස්, 2018 ජූනි 22 දිනට වසර පහකි. සාමාන්‍ය රස්තියාදුකාර නාට්‍යකරුවෙකු වූ භානු මිත්‍රත්වය හා නාට්‍ය එකට බැඳි දුර්ලභ සුන්දරත්වයකට එක්තරා විදියක සංකේතයක් විය. එදා භානුගේ අකල් මරණය අප මහත් කම්පනයකට පත්කළ අතර ඒ කම්පනයෙන් යුතුව මම පුවත්පතකට ලියූ "බොහිමියානු භානුවා" නම් වූ ලිපියක් කාලීන වශයෙන් යළි ආවර්ජනයට ගැනීම සුදුසුයි කියලා හිතුණා. ඔබ එය කියවා ඇත්නම් යළි කියවා බලන ලෙස මම යෝජනා කරන්න කැමතියි.

මේ ස්මරණය භානු වෙනුවෙන්!

බොහිමියානු භානුවා

අපගේ ජීවිත සීසීකඩ කර ඇත. එය එකම අවුල් ජාලයකි. උපතෙදී අපට උරුමකර ඇති සියලූම ප්‍රශ්න මැරෙනකොට ද අපි අරගෙන යන්නෙමු. කිසිවෙකුට කිසිවෙක් ගැන සොයා බැලීමට වේලාවක් නැත. එතරම් වේගයෙන් තම තමන්ගේ පණ බේරාගෙන හිත් ලූ ලූ අත දුවන පිස්සන් රැළක් බවට අපව පත් කර ඇත. ෆේස් බුක් නැත්නම් දැන් කවුරු කාට පෑගී මිය යනවාද යන්නවත් සොයාගත නොහැකිය. ජීවිතය හැර අන් සියල්ල මිල අධික දේශයේ මරණය අති සුලභව කැමති තැනකින් දැන් ඔබට ලබාගැනීමට ඇත. ඒ අතරේ භානු ප්‍රසන්න යන අප සගයා මියගොස් ඇත. අපිට ඊට වටිනාකමක් දිමට අවශ්‍යය. එය කරන්නේ කෙසේද? කිසිවෙක් නොදනී. අවම වශයෙන් අර දුවන අතරේ අපි ඔහුට තව එකම එක හාදුවක් දී යමු. ඒ භානු කිසිවක් නොබලා අප සමග මෙතෙක් දුර දිව ආ බැවිනි. අනිත් බොහෝ දේ සේම යළි කිසි දිනක භානු ද අපට මතක් නොවෙනු ඇත. මේ කුරිරු දුෂ්ට අර්ථ ශුන්‍ය දේශයේ යළි කිසි දිනක භානු ද අපට වැඩක් නොවනු ඇත! අපිට වැඩක් ඇත්තේ මොනවා ද? රට කරන ඒකාගෙන් ම අැසිය යුතුය!

ක්ෂේත්‍රයේ මට හමු වූ පළමු මිතුරා ඔහු ය, මගේ සෑම නාට්‍යයකම සිටි එකම ශිල්පියා ඔහු ය, මම පිටපතක් ලියූ පසු වැඩ පටන් ගන්න මුලින්ම හමුවන්නේ ඔහු ය, මගේ නාට්‍ය වල රචනය සහ අධ්‍යක්ෂණය හැර අන් සියල්ලම කර ඇති එකම ශිල්පියා ඔහු ය, මිය යන විටත් ඔහු මගේ ඊළඟ වැඩේ සැලකිය යුතු බරක් අදිමින් සිටියේ ය. මගේ කුඩා කලා ජීවිතයේ සුන්දරම අවස්ථා සහ වැඩිපුරම හිනා යන අවස්ථා මතක් වෙන්නේ භානුත් සමඟ ය. භානු සමඟ මට ඇති සම්බන්ධය ගැන ඒ කෙටි සටහන තැබුයේ ඔහු ගැන ඕන දෙයක් ලිවීමට ඔබෙන් කුඩා අවසරයක් ලබා ගැනිමටයි. එහෙත් භානු ගැන මගේ අත්දැකිම ඇසුරෙන් කිසියම් පොදු යථාර්ථයක් සොයා යන්නට උත්සාහ කරමි.

අනූව දශකයේ ආරම්භයේ වැඩමුළු හා නාට්‍ය උලෙළ හරහා විවිධාකාර අරමුණුවලින් නාට්‍ය කරන්න පැමිණියවුන් අතර භානු මට හමුවන්නේ හුදු විනෝදස්වාදය පිණිස ම නාට්‍ය කරන්න පැමිණිය එකකු ලෙසිනි. වැඩිකල් යන්නට පෙර පන්නිපිටියේ භානුගේ නිවස අපි වල බහින තැන බවට පත්විය. අම්මාද නැති තාත්තාද පාඩුවේ පැත්තකට වී සිටි ඒ නිවස කැමති කෙනෙකුට කැමති දෙයක් කරගන්නට ඉඩ හැර තිබුණි. අප පිරිසේ කාගේ හෝ නාට්‍යයක දර්ශනයෙන් පසු එක දිගට බොමින්, මල් උරමින් මද්දල් නන්දෙගේ ඩෝලයට එළිවෙනකල් ගී කියා එතනම වැටී නිදාගත්තෙමු. එවකට භානු බ්රේක් ඩාන්ස් වලට වහ වැටි සිටි අතර මම ද එසේම ඇලූම් කල බැවින් අපි කොළඹ පුරා ඇති බ්රේක් ඩාන්ස් සංදර්ශන බලන්න රෑ තිස්සේ ගියෙමු. පසුව භානු එවකට ඔහු රඟපෑ සොක්‍රටීස් නාට්‍යයට ද බ්රේක් ඩාන්ස් යොදාගත්තේ ය. කෙසේ හෝ භානුට තිබුණේත් මට මෙන්ම අපිළිවෙළක් ඇති ජීවිතයක් බැවින් අපි හොඳට සෙට් උනෙමු.

බොහෝ විට භානු නාට්‍යයකට පැමිණියේ මේකප් කර යන්නට පමණක් නොව එහි ඇති සියල්ල කර යන්නට ය. "ඇටුත් කරලා, සෙටුත් ගහලා, බසුත් බුක් කරලා, මුකුත් නැතිව ගෙදර යනවා" කියන අප අතර තිබ්බ ජනප්‍රිය විහිළු කියමනට, ඇයි මේකපුත් දාලා නේදැයි කියමින් අපි භානුට විහිළු කෙරුවෙමු. එවකට යෞවන සම්මාන මුල් වටයේ පෙන්වන නාට්‍ය වලට භානු මේකප් ඇතුළු අනිකුත් අංගවලින් උදවු කරන්නට යනවා මට මතකතය. ඒ බොහෝ තරුණ නාට්‍යකරුවන්ට ශ්‍රමයට සරිලන මුදලක් ගෙවීමට හැකියාව තිබුනා කියා මට හිතෙන්නේ නැත. බොහෝවිට ඒවා අතින් කයිට් වැඩ විය. භානුව හරියට හඳුනන්නේත් නැති නමුත් පහසුවෙන් ලබාගත හැකි බැවින් බොහෝ දෙනා මේකප් වලට කතා කරන්නේ භානුට ය.

භානුව මම දකින්නේ එච්. ආර්. ජෝතිපාල, විමල් කුමාර ද කොස්තා, සයිමන් නවගත්තේගම ආදී අනාගත සැලසුම් සහ පවුල් සංවර්ධනයට වඩා බීම, මිත්‍ර සමාගම සහ නිර්මාණයේ ආස්වාදය වින්දනය කල අයකු ලෙසිනි. කොස්තා වැන්නන් පසුකාලීනව මේ තත්වය තුළ විශාල ජීවන අර්බුද වලට පවා මුහුණ දුනි. භානු මුදල් සහ ජනප්‍රියත්වය ලැබෙනවිට පිළිවෙළක් වෙන්න කලබල නොවුන වර්ගයේ එකෙකි.

නූතන සිංහල නාට්‍ය කලා සංස්කෘතියේ භානු නියම බොහිමියානු (Bohemian) චරිතයකි. ලෝකයේ බහෝ රටවල භානුලා වැනි බොහිමියානුවෝ නගරාශ්‍රිතව ජීවත් වෙති. වැඩි මුදලක් අතේ නැත. ඕනෑම තැනක ඕනෑම විදියකට සෙට් වෙලා ඉන්න ලෑස්ති ය. ජීවත් වෙන්නේ එදිනෙදා සතුට වෙනුවෙන් ය. බීම, ගංජා, මිතුරන්, කලා රසය සහ සෙක්ස් වලට වඩා යමක් සොයා යන්න උත්සහ නොකරයි. භේද නැත. තැනකට එන්නට අදහසක් නැත. හැබැයි සියලූ දුප්පතුන් බොහිමියානුවෝ නොවෙති. බොහිමියානු යනු දැනුවත්ව හෝ නොදැනුවත්ව ජිවත් වන විදියක් මිස පොහොසත් වෙනකං බලා සිටිනා දුප්පතෙක් නොවේ. එය පිට සිට බලනා විට එක්තරා ජීවන දර්ශනයකි. සියලූම බොහිමියානුවෝ එක වගේ නොවන අතර සෑම බොහිමියානුවෙක් ම හොඳ මිනිහෙක් යන්නද ඉන් නොකියවේ. ඒත් භානු හොඳ එකෙකි!

භානු වැනි සංස්කෘතිකව වඩා විමුක්තිකාමීව ජීවත් වන්න උත්සාහ කල අවංක උන් අපේ නාට්‍ය කලාව තුළ තවත් මට හමුවී ඇත. ඒත් ඒ බොහෝ දෙනෙකු විවිධ හේතු මත නැති වී හෝ වෙනස් වී ගියහ. මට හමු වූ අයගෙන් බොහෝ දෙනෙකු නැති වී ගියේ 'මැද පන්තික ගැහැණු' කසාද බැඳ කුටුම්බ වලට ඇදගෙන යාමෙන් ය, ඒ ගියා ගියා ම ය, තාමත් උන්ට වෙච්ච දෙයක් නැත. ඒ ගෑනුන්ට එකල තරුණ වියේ සිටි ඔවුන්ව හොඳ රස්සාවක් සමඟ දිනපතා එකම තැනකින් සෙක්ස් දීමේ පොරොන්දුව මත වෙනස් කල හැකි විය. මේ වන විට මැදිවිය ඉක්මවා යමින් සිටින ඔවුන් මෙතනින් එහාට යාමට නව දර්ශනයක් සොයමින් දැන් හොඳට ස්වයං වින්දනයේ යෙදෙනවා ඇතැයි සිතමි.

සමස්තයක් වශයෙන් ගත් විට අපගේ සිංහල නාට්‍ය සංස්කෘතිය නිර්මාණය වී ඇත්තේ භානුලා වැනි සංස්කෘතිකව වඩා විමුක්තිකාමීව ඉන්නට හදන චරිත වලින් නොව එහි අනිත්පැත්ත වන කලාව හරහා වැදගත් මහත්මයෙක් වන්නට හදන කුහක චරිතවලින් ය. බොහෝ අය තුළ ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ කිසියම් විවෘතභාවයක් තිබුණ ද, තමන්ගේ වැඩ ක්‍රමයෙන් මතුවන විට, කලාකරුවකු ලෙසට ලැබෙන පිළිගැනීමත් සමඟ තමා තත්වයක් ඇතිව ඉන්නා වැදගත් වගකිවයුතු සීරියස් කෙනෙක් බව පෙන්නන්ට හදයි. ඔවුන් කලාව කිරීමේ අරමුණ වන්නේ සමාජමය වශයෙන් තම පෞර්ෂය සහ බලය හදා ගැනීම ය. තවදුරටත් ඉන් පැහැදිලි වන්නේ අප නිර්මාණවලින් ප්‍රාර්ථනය කරනා සංස්කෘතික (ලිංගික) විමුක්තිය, අගතියෙන් තොර සමාජය, උසස් මිනිස් සම්බන්ධතා හා ආධ්‍යාත්මික විමුක්තිය සොයා යාම ඒ කී කලාකරුවාගේ අරගලය නොවන බවයි. ඒ කී සමාජය වෙනස් කිරීමට භානුලා වෙනම දේශපාලනයක් කළේ නැත. එහෙත් භානුලා ඒ විමුක්තියට යන මාවතේම නොවේ නම් අඩුම ගානේ ඒ ප්‍රධාන මාවතට වඩාත් ආසන්න අතුරු මාවතක ඇත්තටම ජීවත් විය.

අද වන විට බටහිර යුරෝපීය ප්‍රධාන ධාරාවේ දැවැන්ත වෘත්තීය නාට්‍ය කලාවට දරුණු චෝදනාවක් ඇත. එනම් කෘති වශයෙන් ඒවා කෙතරම් පරිසමාප්ත වුව ද නාට්‍ය කිරීමේ සමාජ උවමනාව වන සාමූහිකත්වය සහ මිනිස් සම්බන්ධතා වල බැඳීම ඒවා කරන සහ පෙන්වන වෘත්තිමය ආකෘතියෙන් අත්පත් කර ගැනීමට බැරිවීම ය. ශිල්පීන් එකිනෙකා තම තමන්ගේ කොටස කර යන අතර නැරඹීම නම් කොටස ප්‍රේක්ෂකයින් කර යයි. එය ධනපති ක්‍රමය තුළම අපව පුහුණු කරන තම තමන්ගේ වැඩක් කරගෙන කීයක් හරි හොයාගෙන පැත්තකට වී ඉඳීමම වේ. මීට එරෙහිව විවිධ විකල්ප යෝජනා තිබෙන අතර භානුත් සමඟ අප කල නාට්‍ය කලාව මතක් වන විට මට කිව හැක්කේ එදා අප නොදැනුවත්වම අපගේ නාට්‍ය තුළ මේ ප්‍රශ්නය අපට ආවේණික බොහිමියානු ක්‍රමයකට විසඳාගත් බවයි. අප එකිනෙකා බැඳී තිබුණේ වෘත්තිමය තත්වයන් තුළින් නොව මිත්‍රත්වයේ කොන්දේසි වලින්ය. එය කළ හැක්කේ භානුලා වැනි කොන්දේසි රහිතව වැඩේට බැස්ස උන් සිටිනා තෙක් පමණි.

නිෂ්පාදනයේ සිට නාට්‍ය නැරඹීම දක්වා නාට්‍ය නම් වූ මේ අසිරිමත් කලාවේ ඇති විශේෂ ලක්ෂණය නම් එය සාමූහිකත්වය සහ සහජීවනය නම් මූලික මානුෂික උවමනාවක් වටා අති සුන්දර ලෙස බැඳී තිබීමයි. කිසිවෙක් විසින් අතට ඇති තරම් මුදල් සොයාගෙන අවසන්වී, කන්ඩ ඇති සියල්ලද කා අවසන් වී, මට මොකක්ද අඩුවක් දැනෙනවා, මොකක් ද හිස් බවක් දැනෙනවා යයි කිවහොත් ඔහුට හෝ ඇයට කියන්නට ඇත්තේ "එන්න අපි නාට්‍යයක් කරමු!" කියාය. නමුත් හැමෝම කරන අරමුණින් නොව වෙනස් නාට්‍යයක් කිරීමේ අරමුණිනි. අපි දැන් නියම තැනට ඇවිත් තියනවා. අපේ අරමුණ අධ්‍යාත්මික හිස් බව පුරවාලීමය. එය ලබාගත හැක්කේ සාමූහික ආස්වාදය තුළිනි. එය නාට්‍ය නැරඹීමට පෙර නාට්‍ය හැදීමේ දී ම ආරම්භ වේ. හොඳයි එවැනි නාට්‍යයකට ගන්නේ මොනවගේ කාස්ට් එකක්ද? ඒ භානුලා වගේ උන්වයි.

-ධනංජය කරුණාරත්න [http://www.dhananjaya.net/]
(රාවය. 2013.06.30)

No comments:

Post a Comment