කිසියම් රටකට ඔබ ගිය පසු සමස්ථයක් වශයෙන් එරට මිනිසුන් කෙතරම් ශිෂ්ඨ සම්පන්න උසස් ජාතියක් දැයි ක්ෂණික අදහසක් ඇති කර ගැනීමට කරුණු දෙකක් දෙස බැලිය හැකි ය. එකක් එරටේ මිනිසුන් පොදු දේපල (පොදු වැසිකිලියක්, බස් නැවතුම් පොලක් ආදිය) භාවිතා කරන ආකාරයයි. අනික කලාගාරය හෝ රඟහල පවතින ආකාරයයි. පළමුවැන්නේ දී ඔබට අනිකා පිලිබඳ ඔවුන් කෙතරම් සවිඥාණික ද හා සංවේදීද යන්න සොයාගත හැකියි. දෙවැන්න වූ කලාගාරය හෝ රඟහල වෙතට කෙතරම් වටිනාකමක් අවධානයක් දී ඇත්ද යන්න මත ඔවුන්ගේ අතිරික්ත කාලය සංස්කෘතිකගත වී ඇති ආකාරයත් ඒ හරහා ඔවුන් කෙතරම් මානව අත්දැකීම ගැන සංවේදීද යන්නත් දැනගත හැකියි. මේ දෙකම එකම කාසියේ දෙපැත්ත වගෙයි.
ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය කරන්න කැමති ඕනෑම කෙනෙකු මුලින්ම කල්පනා කළ යුත්තේ අපටම කියා නාට්‍ය සංස්කෘතියක් නිර්මාණය කරගන්නේ කෙසේ ද කියා යි. හේතුව එවැන්නක් අපට කිසිදිනක පැවතී නොමැති වීමයි. එහෙත් අපට ක්‍රිකට් සංස්කෘතියක් ඇතැයි කිව හැකිය. එබැවින් ක්‍රිකට් උදාහරණ කොට නාට්‍ය සංස්කෘතියක් යනු කුමක්ද යන්න කෙටියෙන් පැහැදිලිකිරීම පහසුය. ක්‍රිකට් ගැසීම හා නැරඹීම මුල් කරගෙන විවිධාකාර සමාජ ක්‍රියාකාරකම් ඇති වී ඇත. වතුවල, පාරවල්වල විවිධාකාර ක්‍රිකට් ක්‍රීඩා කිරීම, බිග්මැච් සංස්කෘතිය, ක්‍රිකට් ගැන විවිධ කතාබහ, ලෝක ක්‍රිකට් තොරතුරු හෙවීම, විශාල තිර ඉදිරියේ ක්‍රිකට් නැරඹීම ඇතුළු නිමක් නැති ක්‍රියාකාරකම් ඒ අතර වේ. ඒවා සාමාන්‍ය ජීවිතයට එකතුවී ඇති බැවින් එහි ප්‍රථිපලයක් ලෙස ඈත ගමක ආච්චී කෙනකු වුණත් දැන් ක්‍රිකට් නීතිරීති දනී. එබැවින් එය ඉහලින්ම රස විඳියි. අවසානයේ වැදගත්ම දේනම් ක්‍රිකට් හරහා නව මානව ක්‍රියාකාරකම් රැසක් ඇතිවී ඒ හරහා අප එකිනෙකා හමුවීමට හා බෙදාගැනීමට උවමනාවන් ඇතිකර තිබීමයි. එනිසාම ක්‍රිකට් අපව සංස්කෘතිකගත කර ( Cultured) ඇතැයි කිව හැකිය.
නාට්‍ය සංස්කෘතියක් යනු ද නාට්‍ය රඟදැක්වීම හා නැරඹීම මුල්කරගෙන ඇතිවී ඇති විවිධාකාර ක්‍රියාකාරකම් හා හුරුපුරුදු කෙනෙකුගේ ජීවිතයේ කොටසක් බවට පත්වුන සමාජ පරිසරයකි. නාට්‍ය ගැන කතාබහ, සම්මන්ත්‍රණ, පොතපත විස්තර කියවීම්, නාට්‍ය වලින් ඇති කල මතිමතාන්තර නිසා ඇති වුන ජීවන විලාසිතා, නාට්‍යවල ජවනිකා ආදියෙන් ඇතිවූ විනොදාත්මක අංග, නාට්‍ය උත්සව ආදී නිමක් නැති ක්‍රියාකාරකම් ඊට ඇතුලත්වන අතර බොහෝවිට ඒවා සාහිත්‍ය, නැටුම්, සංගීත ආදී අනිත් කලාවන්වල එවැනිම ක්‍රියාකාරකම් හා අත්වැල්බැඳගෙන පවතී. එය ජීවිතය හා සමාජය ගැන කරුණු විමසන විවිධ මත ගැටුම් හා ජීවිතයේ රසය අර්ථය එකිනෙකා හමුවී බෙදාගන්නා උවමනාව ඇති කළ පරිසරයකි. මනුෂ්‍ය ජිවිතයේ වඩාම සාරවත් හැඟීමක් වන සාමුහික ආශ්වාදය කලාව හරහා අභ්‍යාසගත කරවන්නේ මේ කියන සංස්කෘතික පරිසරය තුළ දී ය.
ලෝක නාට්‍ය ඉතිහාසය පුරාම එවැනි නාට්‍ය සංස්කෘතීන් නිර්මාණය වූයේ රඟහලක් වටාය. එනම් නාට්‍ය රඟදැක්වීම හා නැරඹීම නම් ක්‍රියාවලිය මුල්කරගෙන එහෙත් ඉන් එහා ගිය සමාජ පරිසරයක් ගොඩ නැගීම සඳහා ඉඩ ලබාදුන් තැන්වලය. එය නාට්‍යකරුවන් හා රසිකයින් විවේකීව කල්ගත කරන තවත් විවිධාකාර දේ සඳහා හමුවන කිසියම් රසික තිප්පොලක් හෙවත් වෙනත් විදියකට කියතොත් 'වල බහින' තැනක් බවට පත්වූ විටය. එය සාමාන්‍යයයෙන් සිදුවන්නේ රාත්‍රී ජීවිතයක් ඇති නාගරික සංස්කෘතින්වලය. වඩාත් ප්‍රකට උදාහරණ ලෙස කැෆේ සිනෝ ( Caffe Cino) රඟහල මුල්කරගත් ඕෆ් ඕෆ් බ්‍රෝඩ්වේ නාට්‍ය සංස්කෘතිය, ලන්ඩන් හී අම්බසිඩර් තියටර් ග්රූප් (Ambassadors Theatre Group) වැනි රඟහල් මූලික වූ වෙස්ට් එන්ඩ් (West End ) නාට්‍ය සංස්කෘතිය හා පැරිසියේ තියටර් ෆ්රාන්සෙස්(Theatre Francais) රඟහල ආදීය දැක්විය හැකිය. එහෙත් මධ්‍යපංතික බුර්ෂුවා පාලනයක් තිබුණු බොහෝ තැන්වල ඊට ඉඩ ලාබ නොදුන් අතර එවැනි තැන්වල පුලුල් නාට්‍ය සංස්කෘතීන් ද බිහි නොවුනි. යුරෝපයේද මුලින් එවැනි තත්වයන් ඇතිවී පසුව රඟහල යනු නාට්‍ය පමණක් නොව ජීවිතයද බව වටහාගෙන අවශ්‍ය පරිසරය සකස් කරගෙන්නා ලදි. යුරෝපයේ එහෙම වුණත් පශ්චාත් යටත්විජීත මානසිකත්වයෙන් මඩනා ලද අපේ රටේ, නාට්‍ය හැදීම හා නැරඹීම යනු ජීවිතය හොයාගෙන යන තැනක් නොව තත්වය හොයාගෙන යන තැනක් ලෙසට පටලවාගෙන, පංතිමය වශයෙන් උසස් වැඩක් කරපු උන්ගෙන් උසස් භාණ්ඩයක් අරගෙන ගෙදර යන්ඩ ආපු උසස් කට්ටියකගේ කතාවක් බවට පත්කරගන්නා ලදී. අදත් නාට්‍යයක හොදම අවස්ථාව වන දර්ශනය අහවර වී ප්‍රේක්ෂකයින් හා නාට්‍යකරුවන් බදාගන්නා වෙලාවෙදී ශාලා භාරකරු එළියට යන්නෙ කීයටදැයි අසමින් යතුරු කැරැල්ලක් සහ කොස්සක් අරගෙන අප පසුපස එයි.
ශ්‍රී ලංකාවට නාට්‍ය සංස්කෘතියක් ගැන ගැඹුරින් අවබෝධකරගෙන ගොඩ නැගූ රඟහල් සංකීර්ණයක් කිසිදිනක නොතිබුණි. එබැවින් අපට අද වහා අවශ්‍ය වී ඇත්තේ නාට්‍ය සංස්කෘතියක් බිහිකළ හැකි හොඳ රඟහල් සංකීර්ණයකි. එසේ කියනවිට නෙලුම් පොකුණ ඇතුළු දැනට ඇති රඟහලවල අර්බුදය කුමක්දැයි කෙනෙකු ඇසිය හැකි බැවින් ඒ ගැන ක්‍රමවත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වනු ඇත.
ලොකයේ මූලික වශයෙන් රංග ශාලා සංකීර්ණ වර්ග දෙකක් ඇත. එකක් සංදර්ශණ මධ්‍යස්ථාන (Entertainment Centres) ය. අනික ප්‍රසාංගික කලා මධ්‍යස්ථාන (Performing Arts Centres) ය. ශ්‍රී ලංකාවට ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයක් නැත. ඇත්තේ සංදර්ශණ මධ්‍යස්ථානයන් පමණි. සාමාන්‍යෙයන් සංදර්ශණ මධ්‍යස්ථානවල ඉදිරිපත් කරන්නේ විශාල ප්‍රමාණයේ සංගීත හා නැටුම් සංදර්ශණ, විවිධ ප්‍රසංග, (වෝල්ට් ඩිස්නි ආදී) විශාල පපට් ප්‍රසංග ආදියයි. කොටින්ම ශරීරයෙන් එතරම් සියුම් දේවල් නිරූපණය නොකරන, පිරිසෙන් හා අනිකුත් අංගෝපාංග වලින් ද විශාල, සජීවි හඬට වඩා මයික් භාවිතා කරන සංදර්ශනයි. ප්‍රසාංගික කලා මධ්‍යස්ථාන වෙන්වන්නේ නාට්‍ය, අභින ආදී සියුම් සජීවි හඬ සහ ඉරියව් මතද යැපීමට හැකි විවිධ රූපණ හා තවත් සියුම්ව ඉදිරිපත් කරන කලාත්මක ආකෘතියක් ඇති සංගීත නර්තන ආදිය සඳහායි. එසේම වඩාත් නිවැරදිව කරන රටවල සියලුම දේවල් එකම රඟහලේ කරනවට වඩා නැටුම් නාට්‍ය සංගීත ආදී විශයන්ට ඒවාටම ආවේනික වෙන වෙනම රඟහලවල් ඇත. මහරගම තරුණ මධ්‍යස්ථාන ශාලාව සංදර්ශණ මධ්‍යස්ථානයකට හොඳ උදාහරණයකි. බොහෝ සංදර්ශණ මධ්‍යස්ථාන මෙන් එය ගෘහස්ථ ක්‍රීඩා වලටද පහසුව සලසයි. 'නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල' නමින් මෑතක ඉදි කළ සංකිර්ණය ද වඩාත් සමීප වන්නේ සංදර්ශණ මධ්‍යස්ථානයකටය. එකම වෙනසකට ඇත්තේ එය තරුණ මධ්‍යස්ථානයේ ක්‍රීඩාවලට තිබූ අවස්ථාව ඉවත්කර, ඒ වෙනුවට අංගම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක පහසුකම්ද ඇතුලත් කර, රළු ගතිය වෙනුවට සියුම් නිමාවක් සහිතව නිමකර තිබීමයි. ඊට අමතරව නෙලුම් පොකුණ, ඉහත සඳහන් කළ, විවේකී සංස්කෘතික පරිසරයක් කල්පනාවට ගෙන නිර්මාණය කරන ලද්දක් නොවේ. එය නිර්මාණය වන්නේ 'බණ්ඩාරනායක' සම්මන්ත්‍රණ ශාලාවේ වටිනාකම නැතිකර දමා ඒ වෙනුවට වැදගත් ජාත්‍යන්තර සම්න්ත්‍රණ 'රාජපක්ෂ රඟහල'ට ගෙන ඒමේ දේශපාලන ව්‍යාපෘතියක් යටතේය. (නෙලුම් පොකුණ හැදූ තැන රඟහල් සංකීර්ණයක් ඉදිකිරීමේ සංකල්පය මුලින්ම ගෙනා හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියගේ අදහස වූයේ මෙවැන්නක් නොව මීට වඩා ප්‍රසාංගික කලාවට නැඹුරුවූ රඟහල් සංකීර්ණයකි. සම්මන්ත්‍රණ සඳහා ඇයට බණ්ඩාරනායක ශාලාව තිබුණි.) කෙසේ හෝ එය පලක් නැති දෙයක් යන්න මින් අදහස් නෙකෙරේ. එසේම රඟහලක් පහසුකම් තිබූ පමණින් හොඳ රඟහලක් වන්නේ ද නැත. රඟහලක වඩා වැදගත් වන්නේ ඇතුලත වාස්තවිකත්වය සහයෝගය දක්වන්නේ කවර ඉදිරිපත් කිරීමකටද යන්නයි. සාමාන්‍යෙයන් වේදිකා නාට්‍ය සඳහා සුදුසු රඟහලක් වීමට ඇතුලත වාස්තවික පරිසරය තුළ සැලකිල්ලට ගතයුතු ප්‍රධාන කාරණා හතරක් ඇත.
- හඬ-ධ්වනිය (Acoustic) - විශේෂයෙන් සාමාන්‍ය කතාකරන මට්ටමේදී සජීවි හඬ නිරවුල්ව විකාශනය වීමත්, එය කැමති පරිදි පාලනය කිරීමට ඇති හැකියාවත්, බාහිර ශබ්ද ඇතුලට නොඒම ආදියත් ඊට අදාලය.
- රූපය(Visual) - එනම් වේදිකාවේ ඇති රූපය ඕනම අසුනක සිට නරඹන විට කිසිම බාධාවකින් තොරව (අනිත් ප්‍රේක්ෂකයාගේ හිසවත් නොපෙනී) නිරවුල්ව දකින්නට ඇති හැකියාව
ඒ අනූව බැල්කනිය යනු වඩාම නූතන නාට්‍ය රඟහල්වලින් ඉවත් කර ඇති පැරණි අංගයකි. - නම්‍යශීලිභාවය (Flexibility ) - එනම් රංගයට අනූව හැකි තරම් තමන් කැමති පරිදි රඟමඩල හා ශාලාව වෙනස්කර ගැනීමට ඇති හැකියාව.
- සුවපහසුව (Comfort) - අධික උශ්ණත්වය, සීතල, මකුණන් ඇති හෝ අබලන් ආසන ආදියෙන් රසවින්දනයට බාධා නැති පරිසරය මින් අදහස් කෙරේ.
මේ අර්ථයෙන් ගත්කල මහජනයාට ලබාගැනීමට ඇති විවෘත රඟහල්වලින් යම් අඩුඅඩුපාඩු වලට යටත්ව නමුත් ශ්‍රී ලංකාවේ නාට්‍ය සඳහාම සුදුසු රඟහල් ඇත්තේ දෙකක් පමණි. එකක් ලයනල් වෙන්ඩට් ය. අනික බොරැල්ල බ්‍රිතාන්‍ය පාසල් රඟහල ය. අන් සියල්ලේම ඉහත සඳහන් කළ කරුණු පහෙන් එකක් හෝ කීපයක් අඩුවැඩිව නොමැතිවීමෙන් අර්බුද ඇත. එසේම රටපුරා රඟහල් නමින් ඇති සියල්ලම පාහේ රඟහල් නොව ශ්‍රවණාගර නැතහොත් නිකම්ම ශාලා ය. එහෙත් අවශ්‍ය නම් ඒ බොහෝ ඒවා හොඳ ප්‍රතිසංස්කරණයකින් සතුටුදායක රඟහල් බවට පරිවර්තනය කළ හැකිය.
නාට්‍ය න්‍යායන්ට අනුව රංගයක් සිදුවන ඕනෑම තැනක් රඟමඩලක් (Theatre) ලෙස නම් කළ හැකිය. එය ඇත්ත ය. නමුත් ඉන් එම රංගයේ ගුණාත්මක බව ගැන කිසිවක් නොකියවේ. එසේම අවශ්‍ය නම් කෙනෙකුට ඉහත සඳහන් කළ සියලු වර්ගකරණයන්ට එරෙහිව වීමෝලක් ශාලාවක් ලෙස ගෙන එහි නාට්‍ය ආදිය පෙන්වමින් ඒ අපේ ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය යැයි තර්ක කළහොත් එයද සාධාරණ ය. නමුත් අප මෙහිදී උත්සාහ කරන්නේ මේ රඟහල් පිලිබඳ සියලු කතා පැමිණෙන බටහිර-යුරෝපයේම කතාබහ ඇසුරින් වඩා නිවැරදි ක්‍රමය ලෙස හඳුනාගෙන තිබෙන ආකාරයන් තේරුම් ගන්නට ය.
අපට අවශ්‍ය වන්නේ නිකම්ම පහසුකම් ඇති නාට්‍ය ශාලාවක් නොවේ. එය සංස්කෘතික, කලාත්මක හා සමාජ වටිනාකමින් යුත් තැනක් විය යුතුය. කොටින්ම ආගමික හා පෞරාණික අර්ථයෙන් දළදා මාලිගාව කෙතරම් වටින්නේද, ලෞකික අර්ථයෙන් මෙම රඟහල සමකාලීන සංස්කෘතියට එතරම්ම වටිනාකමක් ඇති රඟහලක් විය යුතුය. එනම් එය ගෘහ නිර්මාණාත්මකව අතිශය මනහර වූ ද, භූමියෙන් ඉතාම සුවිශේෂි වූ තැනක පිහිටියා වූ ද ගොඩනැගිල්ලක් විය යුතුය. කොළඹාශ්‍රිත සුදුසු භූමියකට උදාහරණ ලෙස බත්තරමුල්ල දියවන්නා ඔය අසල ස්ථානයක්, කොල්ලුපිටිය, බම්බලපිටිය වැනි ප්‍රදේශයක මුහුද අසල ස්ථානයක් හෝ ගාලුමුවදොර වැනි ස්ථානයක් දැක්විය හැකිය. දළදා මාළිගාව, සීගිරීය වැනි අතීත රජවරුන් බිහිකළ උරුමයන් හැරුණ විට අපට නූතන ජීවිතය තුළ එවන් සංස්කෘතික වටිනාකමකින් යුතු දේවල් ගොඩ නැගීමට තවම හැකියාවක් ලැබී නැත. විශේෂයෙන් නිදහසින් පසු පැමිණි අපේ දේශපාලකයින් බොහොමයක් දෙනා ඡන්දය සඳහා ජනතාව කෙටිකාලීනව රවටා ගැනීමට හා පහසුවෙන් කොමිස් ගසාගැනීමට හැදු අතිශය බාල, නීරස ගොඩනැගිලි සහ මංමාවත් විශාල තොගයක් මැද අප අද අනාථ වන විට බටහිර ජාතිකයින් ඒ දේවල් අතිශය බරසාරව හා කලාත්මකව නිර්මාණය කර ගෙන ඇති බව අමතක නොකල යුතුය. අද විදේශකයින් අපේ රටට එන්නේ ‘රජ කාලේ දේවල්‘ බලන්නය. වර්තමානයේ ඔවුන්ව පුදුම කරවීමට අප සතුව කිසිවක් නැත. (පුදුම කරවන්න අවශ්‍ය නම්!) අඩු ගානේ රඟහලක්වත් හදාගතහැකි දැයි බලමු!
කෙටි කාලයක් තුළ දියුණුව කරා වේගයෙන් ගිය ජාතියක් වන ඕස්ට්‍රේලියානුවන් එදා ඔවුන් අලුතින් පැමිණි බිමේ නව සුදුජාතික ශිෂ්ඨාචාරය ආරම්භ කරන විට ලෝකය තුළ වටිනාකම ලබාගැනීම සඳහා මුලින්ම නිර්මාණය කළ දේවල් අතර ප්‍රධාන වූයේ විශේෂ ගෘහනිර්මාණ සැලසුමකට හැදූ ඔපෙරා රඟහලකි. එය නාට්‍ය ආදී සියල්ලටම පහසුකම් ඇති ප්‍රසාංගික කලා මධ්‍යස්තානයකි. අද සිඩ්නි ඔපෙරා හවුස් නමින් ලොව ප්‍රකට එය නිර්මාණය කළේ එරටේ වඩාම සෞන්දර්යාත්මක හා මිල අධිකම ස්ථානයේය. එපමණක් නොව එය නිර්මාණය කිරීමට වැය වූ විශාල පිරිවැය සොයාගත්තේ එම සංකල්පය ජනතාව වෙත ඉදිරිපත් කර මුලුරටේම ජනතාවගේ මුදල් දායකත්වය ලබාගැනීමෙන් ය. අද එය ලෝක පූජිත සංස්කෘතික මධ්‍යස්ථානයකි. දිනපතා එය නැරඹිමට ලොව නන්දෙසින් එන්නන්ගෙන් පමණක් එය උපයන විදේශිය ආදායම අතිමහත් ය.
අප මේ කතා කරන රංග සංකීර්ණයට (Theatre Complex) ඇතුලත් විය යුතු අංග කෙටියෙන් මේවායි. ඒ තුළ අවම වශයෙන් රංගශාලා දෙකක් තිබිය යුතුය. එකක් ආසන පන්සීයේ සිට හත්සීය දක්වා ඇති විශාල රංග ශාලාවයි. අනික ආසන දෙසිය පණහේ සිට තුන්සීය දක්වා ඇති කුඩා රංගශාලාවයි . ඊළඟට ස්ටුඩියෝ ඉඩක් හෙවත් සියදෙනෙකුට පමණ ඉඳගත හැකි ‘බ්ලැක් බොක්ස්‘ රංගශාලාවක් (එවැන්නක වේදිකාවක් නැත. අවශ්‍යනම් ක්ෂණික වේදිකාවක් හදාගත හැකිය.) තිබිය යුතු ය. ඊලඟට විවිධ ප්‍රමාණයේ පුහුණුවීම් ශාලා හෝ කාමර සැලකිය යුතු ප්‍රමාණයක්, බාර් එකක් සහ කැෆේ එකක් සමඟ එන රෙස්ටොරන්ට් එකක් තිබිය යුතු ය. (රඟහලක මේ බාර් හා රෙස්ටොරන්ට් පරිසරයේ ප්‍රධාන අරමුණ වන්නේ බොහෝ වේලාවක් විවේකීයව ඉන්නට විවිධ ආකාරයේ ආසන සමඟ පහසුකම් තිබීමයි.) රඟහල යනු මිනිසුන් තම සංස්කෘතික ජීවිතය විවේකීව ගතකරන්නට එන සැහැල්ලු (රිලැක්ස්) තැනක් බව යලිත් මතක තබාගන්න. ඊළඟට ඇතුලත් කලහැක්කේ කුඩා පොත් කඩයකි. හැකිනම් කුඩා පුස්තකාලයක්ද අනුබද්ධ කළ හැකිය. ඒ කෙසේ වෙතත් ඉන්ටර්නේට් ආදී පහසුකම් සහිතව අධ්‍යයන පර්යේෂණ කිරීමට විෂයයට අදාල ග්‍රන්ථ එකතුවක් සමඟ ඉඩක් අවශ්‍යම ය. සංස්කෘතික වටිනාකම වැඩිකරණු වස් මේ සංකීර්ණයට නාට්‍ය හා ප්‍රසාංගික කලාවට අදාල කුඩා කෞතුකාගාරයක් තිබීම වැදගත්ය. ඊට සාම්ප්‍රදායික හා නූතන නාට්‍ය කලාවේ විවිධාකර භාණ්ඩ, අත්පිටපත්, පෝස්ටර් ආදී ඓතිහාසික දේවල්වල එකතුවක් තැබිය හැකිය. චිත්‍ර ආදී ප්‍රදර්ශන සඳහා මේ සංකීර්ණය තුල කිසියම් කුඩා කලාගාරයක් (Art Gallery) තිබීම එහි සංස්කෘතික පරිසරයට අනිවාර්යයෙන් වැදගත්ය. එලිමහනද අවශ්‍යනම් වීදි නාට්‍ය ආදී ප්‍රසංග සඳහා පහසුව දියයුතුය.
මෙවැනි රඟහල් සංකීර්ණයක සිදු කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද? දැනට නාට්‍ය අනු මණ්ඩලය කරගෙන යන නාට්‍ය උත්සව ඇතුළු අවිධිමත් හා පණ නැති වැඩ සියල්ල විධිමත්ව හා වෙනත් ප්‍රාණයකින් කිරීම, දර්ශණ සඳහා රඟහල හා පුහුණුවීම් ශාලා කුලියට දීම (මෙවැන්නක් රටේ නැති නිසා මෙයට විශාල ආදායමක් ඉපයිය හැකිය), රටේ සිදුවන අනිකුත් පුද්ගලික මට්ටමේ නාට්‍ය ක්‍රියාකාරකම්වලට සහයෝගය ලබාදීම, නාට්‍ය කලා අධ්‍යාපනයට හා රසවින්දනයට අදාල වැඩසටහන් සංවිධානය කිරීම (මීට විදේශවලින් ප්‍රවීන වැඩමුළු උපදේශකවරු ගෙන්වීම ආදියද ඇතුලත් ය.), බොහෝ රටවල ඇති සංස්කෘතික හුවමාරු වැඩසටහන් යටතේ අපේ රටේ නාට්‍ය වෙනත් රටවල රඟදැක්වීමටත් ඒ රටවල නාට්‍ය අපේ රටේ මෙම සංකීර්ණයේ රංගගත කිරීම ආදිය මූලිකව ක්‍රියාත්මක කළ හැකිය. හැකිනම් නාට්‍ය කරුවන්ගේ ආරක්ෂාවට හා සුභසාධනයට අදාල නාට්‍ය ‘ගිල්ඩ් එකක්‘ වැන්නක් මෙය මුල්කරගෙන බිහිකර ගැනීම සිදු කළ හැකි ය. ඉතාම වැදගත් කරුණ නම් මෙරට ඇතුළු ලොව පුරා සිටින නාට්‍ය කලාවට ආධාර උපකාර හා ශිෂ්‍යත්ව ආදිය ලබාදෙන ධානපතියන් හා ආයතනාදිය සොයා එම ආධාර හා පහසුකම් නාට්‍යකරුවන්ට ලබාගැනීමට මැදිහත් වීම හා උපකාර කිරීමයි. බොහෝ රටවල මෙය රජයෙන් කරන අතර ඒ අවස්ථාවන් සියල්ල එකතු කර වෙබ් අඩවියක් පවත්වාගෙන යාම ද එම රටවල කරන දෙයකි. ලෝකය පුරා කලාවට ආධාර කරන ආයතන හා පුද්ගලයෝ අතිවිශාල ප්‍රමාණයක් සිටිති. එහෙත් ඔවුන් ආධාර කරන්නේ විශ්වාසවන්ත පදනමක් ඇති තැන්වලට පමණි. අප මෙසේ පිලිගත් නාට්‍ය සංකීර්ණයක් හරහා ක්‍රියාත්මක වන විට සහ එය ලෝකය හඳුනාගන්නා විට ආධාර ඉතා පහසුවෙන් ලබාගත හැකිය. කෙසේ හෝ මේ මූලස්ථානය නාට්‍යකරුවන් හා ප්‍රේක්ෂකයින් හමුවන, විවිධ අදහස්, සංකල්පනා සහ මානව සම්බන්ධතාවලට පසුබිම හදන, පුළුල් සංස්කෘතික ජීවිතයක් වින්දනය කරන්නට ඉඩ ලැබෙන රාත්‍රී ජීවිතයක්ද ඇති ස්ථානයක් විය යුතුය. ඊලඟට දෙවන අදියර හැටියට මෙය මූලස්ථානය කරගෙන මෙහිම විවිධ අනුරූ මධ්‍යස්ථාන අවම වශයෙන් රටේ ප්‍රධාන නගරවල ඉදිකිරීම පුළුල් නාට්‍ය සංස්කෘතියක් බිහිකිරීමට පසුබිම සලසනු ඇත.
ලොව බොහෝ රටවල් අත්පත් කරගත් මෙවැනි නිර්මාණාත්මක ව්‍යාපෘති දෙස බලන විට අපට ඉතා හොඳින් පැහැදිලි වන දෙයක් වන්නේ වඩා වැදගත් වන්නේ මුදල් නොව නිර්මාණාත්මක සංකල්පයන් බවයි . දැන් මේ අපි කතා කරන ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය කරන්නට මේ රටේ රජයේ ආයතන පිටුපස ඉඩම්වල අත්හැරදමා ඇති වාහන හා සම්පත් විකිණීමෙන් ලබන මුදල් පමණක් හොඳටම ප්‍රමාණවත් ය. නාස්ති කළ ලැම්බෝගිනි කාර් කීපයක මුදල් ප්‍රමාණවත්ය. ඇමතිවරයෙක් කොන්ත්‍රාත් කීපයකින් ගහන කොමිස් ප්‍රමාණවත්ය. ඊටත් වඩා මෙවැන්නක සැබෑ උවමනාව නාට්‍යකරුවන්ට ඇත්නම් මාධ්‍ය හරහා රටේ සියලුම දෙනා දැනුවත් කිරීමකට ලක්කර මුදල් එකතුකිරීමේ ව්‍යාපෘතියක් වුව දියත් කළ හැකිය. එහෙත් මෙතෙක් බොහෝ විට සිදුවූයේ නාට්‍ය කලාවේ සංවර්ධනයට කියා නාට්‍යකරුවන්ට පුද්ගලික මට්ටමෙන් ආධාර උපකාර හා වරප්‍රසාද ආදිය ලබාදීමයි. රජයන් ගණනාවක් යටතේවත් අපට ඒවා ලබාගැනීමට නොහැකිවූවේ නාට්‍ය කරුවන්ගේම තිබුණ ආකල්පමය අගතිය, අකිනෙකා අතර තරඟය, පුද්ගලික අරමුණුවලින් ඔබ්බට ගොස් පොදු යථාර්තයක් ජයගැනීමට එකඟතාවයකට නොපැමිණිම ආදී අර්බුද නිසාය. නාට්‍ය කලාවේ දීර්ඝකාලීන සංවර්ධනයකට බලපාන දැවැන්ත සහ පෙරලිකාර වැඩවලට අප තාම ගියේ නැත. තේමාව යහපාලනය නම් දැන් එයට කාලය පැමිණ ඇත.
ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne - 2015
[http://www.dhananjaya.net/]
[http://www.divaina.com/2015/02/05/sarasavi%205.html]
No comments:
Post a Comment