Tuesday, July 10, 2018

නාට්‍ය, වේදිකාව, රංගය සහ මෙල්බර්න් ප්‍රජාව - දෙවන කොටස


ඕනෑම ඉතිහාසයක් සැලකීමේ දී එම ඉතිහාසයේ ජීවත් වීම මෙන් ම එම ඉතිහාසය වාර්තාකිරීම ද සංකීර්ණ ය. තමා ජීවත් වූ කාලයේ ඉතිහාසය වාර්තාකරන්නාහට පවතින සමාජ ධාරාවේ ආකල්ප සහ පෞද්ගලික ආකල්පවලින් මිදීමට අපහසු ය. ඇතැම් විට එය බලවන්තයා සහ අනුවර්තකයා පිළිබඳ සටහනකි. තමන්ට පෙර කාලයක දේ සටහන් කරන්නා හට සිදුවන්නේ අනුන්ගේ මතකය ඔස්සේ යෑමට හෝ ඉතුරු වී ගිය සටහන් මගින් කල්පිතයක් ගොඩ නැංවීමට ය. එමෙන් ම, වාර්තාකරන්නාහට යම් සිදුවීම් සමුදායක් තෝරාගන්නට ද සිදුවෙයි.

යම් සංසිද්ධියක් යනු එයට සහභාගි වූ සහ ප්‍රතික්‍රියා දැක් වූ බොහෝමයක එකතුවෙන් හටගන්නක් වුව ද සටහන් වන්නේ අතළොස්සක් ගැන පමණක් ය. එබැවින් බොහෝ ඉතිහාස පොත්වල ඇත්තේ රජුන් සහ සෙනෙවියන්ගේ නම් පමණක් ය. (ඔවුන්ගේ බිසෝවරුන්ගේ බලපෑම් බොහෝ වුව ද ඒවා ද නොසලකා තිබේ.)

කලා කටයුතු පිළිබඳ ඉතිහාසය ලිවීමේදී ද මේ ධර්මතාවය අඩුවැඩි වශයෙන් බලපවත්වනු ලැබේ. සාමුහික ක්‍රියාවක් වන කලා ක්‍රියාකාරකම් සටහන් කිරීමේ දී ඇතැම්විට පුද්ගල නාම ගිලිහී යා හැක. එහෙත් සිදුවීම් ලිවීම ප්‍රයෝජනවත් ය. මෙල්බර්න්හි රංග කලාවේ ප්‍රවණතා පිළිබඳ ලියනා මේ ලිපියෙහි ඇති කරුණු වෙනත් අයුරකින් ඉදිරිපත් කිරීමට සහ අඩුතැන් පිරවීමට විවෘත ය. එය කුමන මාධ්‍යකින් හෝ සිදුකළ හැකි ය.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය රංගයක් ඉදිරිපත් වී නම් එය මෙරටට සංක්‍රමණයවූවන් ගේ මුල් ඉතිහාසය තෙක් දිවෙන බව පැහැදිලි ය. එම රංගය, ඒ සංක්‍රමණිකයින් තම මතකය ඔස්සේ කී කවියක් හෝ පදමට රත්වීමෙන් පසුව කෙරෙනා විලම්බීත නැටුමක් විය හැකිය. වර්ෂ 1871 ජන සංගණනයට අනුව 58 දෙනෙක් වූ ශ්‍රී ලාංකිකයෝ ද, එයටත් බොහෝ පෙරාතුව, ඕස්ට්‍රේලියාවේ (වික්ටෝරියා ප්‍රාන්තයේ) සිතියමට 'බඩගිනි' (Baddaginnie) නමින් ගමක් නම් කළ ශ්‍රී ලංකාවට සබඳකම් කියූ මිනින්දෝරුවෝ ද මෙලෙස ප්‍රසාංගික අංග තම සංතෘෂ්ටිය උදෙසා හෝ මිතුරු සමාගම් හිදී සිදුකළ බව අනුමාන කළ හැක්කේ රසඥතාව හෝ කලා ප්‍රකාශනාත්මක හැකියාව මිනිසා ළඟ ඇති බැවින් ය.

විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියාව යනු ශ්‍රී ලාංකීය සංක්‍රමණිකයන්ගේ ජනප්‍රිය නවාතැන් පොළක් නොවන්නේ අනෙක් බටහිර රටවලට සාපේක්‍ෂව මෙරට තිබූ අඩු පහසුකම් නිසා පමණක් නොව 1901 දෙසැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් 'සුද්දන්ට පමණක්' වූ White Australia Policy පනත මගින් සිදු කළ හම සුදු නොවන්නා වූ (බ්‍රිතාන්‍යය වැනි ඉංග්‍රීසි මාතෘ භාෂක) සංක්‍රමණිකයන්හට ඉදි කළ වැට නිසාය. මෙම නීතියේ ප්‍රතිඵල ලෙස සංක්‍රමිණකයන් නැවැත්විමට හැකි වුණේ ඒ සඳහා වූ කියවන විට ලිවීමේ විභාගය නිසා ය. බ්‍රිරිතාන්‍ය ජාතිකයන් නොවන්නන්හට එසේ දුන් වචන 50ක ඡේදයක් අති නිවැරදිතාවයකින් ලිවීමට වූ අතර 1909 වසර වන විට 1359 වතාවක් පැවැත්වූ විභාගවලින් සමත්ව තිබී ඇත්තේ 53 දෙනෙක් පමණක් ය. අසමත් වූවන් ආපසු හරවා යවන ලදී. වර්ෂ 1909 සිට මේ පරීක්‍ෂණය තවත් අසීරු කළ නිසා, දශක ගණනාවකට පසු ඒ නීති ලිහිල් කරන තෙක්, කිසිවෙකු ද මේ කියවන විට ලිවීමේ විභාගය සමත්ව නොතිබිණි. සංක්‍රමණිකයන් ගැන වූ ජන සංගණන සටහන් අනුව 1933 දී පවා වික්ටෝරියාවේ සිටියේ 'බර්ගර්' ජන කොට්ඨාශයේ පුද්ගලයෝ 130 දෙනෙක් පමණක් ය.

දෙවන ලෝක යුද්ධයට සමගාමීව යුරෝපියානු සරණාගතයන්හට ඕස්ට්‍රේලියාවේ වාසයට ඉඩ සැලසුණාක් මෙන් ම 1948 දී ශ්‍රී ලංකාවට හිමි වූ 'ඩොමිනියන් නිදහස' හේතුකරගෙන රටින් පිටව ආ ශ්‍රී ලංකාවේ වාසය කළ 'යුරේසියානු' කණ්ඩායම්හට ද ස්වල්ප කාලයකට පසු පොදු ශ්‍රී ලාංකිකයන් අතළොස්සකට ද තාවකාලිකව ඕස්ට්‍රේලියාවට ඒමට ඉඩ සැලසුණි. අපට මූලිකව හමුවන රංග කලා ක්‍රියාකාරකම් ඔවුන්ගේ දායකත්වයෙන් සිදු වූ ඒවා ය.

වර්ෂ 1950 දී කොළඹදී පැවැත් වූ කොමන්වෙල්ත් රටවල විදේශ ඇමතිවරුන් සම්මන්ත්‍රණයේදී යම් යම් ක්‍ෂේත්‍රයන් හි අභිවෘද්ධීය සහ වෘත්තිකයන්ගේ පුහුණුව උදෙසා වැඩ පිළිවෙළක් ලෙස ආරම්භ කළ Colombo Plan Scholars වැඩසටහන මෙනුවර ප්‍රජා සංස්කෘතික වැඩසටහන් සඳහා යම් බලපෑමක් සිදු කරන ලදී. ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයන් හි ව්‍යාපෘතියක් සමගම උසස් උපාධී පර්යේෂණ වෙනුවෙන් පැමිණි පිරිස ද මෙම දශකයේ රංග කලාවේ ආරම්භක සිළු දැල්වූවෝ ය. ඒ හා සමගාමීව පැමිණි එවකට තරුණියෝ වූ මාලිනී ජයමංගල සහ කාරියවසම් 1958 දී මෙල්බර්න් හි පැවති ප්‍රජා උත්සවයන් උදෙසා ශ්‍රී ලාංකීය නැටුම් අංශයක් ඉදිරිපත් කරන ලදී. පසුව බ්‍රිස්බෙන්හි ශ්‍රී ලාංකීය ශිෂ්‍යයෙකුගේ ආරාධනයෙන් සහ අනුග්‍රහකත්වය යටතේ එහි ශිෂ්‍ය උත්සවයක් නියෝජනය කිරීම සඳහා ඔවුහු ගෙන්වා ගත් බව කියවේ. එකල සිටි ලාංකිකයන් තම අනන්‍යතාව ඉදිරිපත් කළ තවත් රංග ක්‍රියාවක් වුයේ සම්ප්‍රදායික ඇදුමින් සැරැසී පැජන්ට් සදහා ඉදිරිපත් වීමයි. (මේ තොරතුරු ඔවුනගෙන් අසා මට පැවසුවේ 70 දශකයේ අග සිටම මෙනුවර ප්‍රජා කලා කටයුතු වලදී කැපී පෙනෙන දායකත්වයක් දුන් රත්නා ගුරුසිංහ ය.)

එක්දහස් නමසිය පනහේ දශකයේ දී අධ්‍යනය සඳහා මෙරටට පැමිණි සිටි සිසුන් අතරින් දයාල් අබේසේකර, චන්න විමලරත්න ආදීහු ප්‍රධානව Sri Lankan Club නම් සංගමයක් ආරම්භ කළ අතර එහි දිගුවක් ලෙස සැලකිය හැකි Ceylon Student Association නමින් ආරම්භ කළ සංවිධානය 80 දශකය මැද වන තුරාම මෙරට කලා හා සංස්කෘතික කටයුතු සඳහා කේන්ද්‍රයක් වූ සංගමයක් විය. පසුව ආචාර්ය උපාධිය හිමිකර ගත් දයාල් අබේසේකර තම වෘත්තීය ආයතනය වූ Swinburne College of Technology හි ඉඩකඩ ඉල්ලාගෙන කරු ලියනාරච්චි (පසුව ආචාර්ය) වැනි 70 දශකයේ අග භාගයේ සංක්‍රමණය වූ පිරිස් සමග මූලිකව කළ සිංහල අවුරුදු උත්සව වැඩසටහන් මගින් සංක්‍රමණික පවුල් හට තම කලා කුසලතා හෙළි දැක්වීමට අවස්ථා සැපයීය. Sri Lankan Club හි වැදගත්කම වන්නේ 1983 දී ශ්‍රී ලංකාවේ ජාතිවාදී කලබල වලින් පසු සිත් බිඳීම් සහ වෙන්වීම් ඇති වන තෙක් ම සිංහල දෙමළ ජන කොට්ඨාශ එක්වූ සංගමයක් වීම ය. මුස්ලිම් බර්ගර් ආදී අනෙක් ජනකොටස් ද ඒ වටා විය.

එක්දහස් නමසිය පනහේ සහ 1960 දශකයේ Colombo Plan Scholars වැඩසටහන යටතේ පැමිණි බොහෝ අයට නැවත මව් රට කරා යෑමට සිදු වූ අතර 1970 දශකයේ සංක්‍රමණික නීති වෙනස් වනතුරුම ප්‍රජාව අතරින් පැන නැගියා වූ කලා කටයුතුවල දීර්ඝ කාලීනව බලපවත්නා ප්‍රගතියක් නොවුණි. එබැවින්, රංගකලා ක්‍රියාකාරකම් හි ප්‍රබෝධයක් හටගන්නේ 1973 දී White Australia Policy ඉවත් වීමත් සහ 1975 දී Racial Discrimination Act සම්මත කරගැනීමත් සමග ක්‍රමයෙන් වැඩි වූ සංක්‍රමණික ධාරාව නිසා ය.

පසුගිය ලිපියේ ද සඳහන් කළ පරිදි නර්තන කණ්ඩායම් රාජ්‍ය සහ පෞද්ගලික සංගම් අනුග්‍රහය මත මුල් යුගයේදී මෙරට සංචාරය කරන ලදී. මෙරටට පැමිණි ප්‍රාන්ත කිහිපයක ම රඟ දැක්වූ සහ පිළිගත් රංග උළෙල සඳහා සහභාගි වූ චිත්‍රසේනයන්ගේ රංග කණ්ඩායම් 1963 දී සහ 1972 කළ සංචාරයන් මේ අතර ප්‍රධාන ය. චිත්‍රසේනයන්ගේ ගේ මුල් සංචාරයේදී ඔහු 'කරදිය; මුද්‍රා නාට්‍යය හෝ 'නළ දමයන්ති' සහ මුද්‍රා නාට්‍යය ද්වයයෙන් එකක් සමග තවත් ජන නැටුම් අංග සහිත වූ රංග වැඩ සටහන් දෙකකින් එකක් ඉදිරිපත් කරන ලදී. දෙවෙන චාරිකාවේ දී බෙර වාදන සහිත උඩරට සහ පහතරට නැටුම් සහ ජන නාට්‍ය ඇතුළත් ප්‍රසංග වැඩ සටහන් දෙකකින් එකක් ඉදිරිපත් කරන ලදී. ආචාර්ය කරු ලියනාරච්චි සමඟ රෝහණ කරුණාරත්න කළ සාකච්ඡාවේ දී කරු ලියනාරච්චි මහතා සඳහන් කර තිබුණේ, 70 දශකයේ Sri Lankan Club හරහා ගෙන් වූ එවන් නැටුම් කණ්ඩායමක් Monash විශ්ව විද්‍යාලයේ Robert Blackwood ශාලාවේ පැවති රංගනයක දී, ඔහු සහ ආනන්ද ජයසිංහ, බිත්තියේ ගසනා යක් මුහුණක් නැටීමට ගන්නා මුහුණක් බවට පරිවර්තනය කර තමාගේ ම ශෛලියකින් යක් නැටුමක් නැටූ බව ය.

එක්දහස් නමසිය හැත්තෑවේ දශකයේ සිදුවූ මේ කුඩා ක්‍රියාකාරකම්, අද පවතින රංග ක්‍රියාකාරකම් සඳහා තැබූ මුලික පසුබිම ය. එම රංග ක්‍රියාකාරකම් විමසිය යුත්තේ ඒ යුගයේ සිටි සංක්‍රමණික ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සහ සම්පත් පුද්ගලයන්ගේ ශක්‍යතා අනුව ය.

(මතු සම්බන්ධයි)

-තරංග දන්දෙනිය [https://www.facebook.com/tharanga.dandeniya]

මෙම ලිපිය සඳහා ඇතැම් කරුණු සොයා ගැනීමේදී උපකාර කළ රත්නා ගුරුසිංහ මහත්මියටත්, උපා උපදාස මහතාටත්, රෝහණ කරුණාරත්න මහතාටත් විශේෂ ස්තූතිය හිමිවෙයි.

2017 ජුලි මස ඕස්ට්‍රේලියාවේ සන්නස පුවත්පත (First published in Sannasa Magazine - July 2017 - http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page05.pdf)

ලිපියේ පළමුවෙනි කොටස- https://sydneycolombotheatre.blogspot.com/2018/07/blog-post_9.html

No comments:

Post a Comment