Wednesday, August 22, 2018

අදහස් වාරණය, කලාව සහ භාවිතය - ධනංජය කරුණාරත්න


අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් වන කලාව මත වාරණය ක‍්‍රියාත්මක වීම හිංසාවක් පමණක් නොව ප්‍රජාතන්ත්‍ර විරෝධී, කලා විරෝධී හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන ක්‍රියාවකි. මෙම ලිපියෙන් අදහස් වාරණයේ ගැන ඓතිහාසික, න්‍යායික හා ප‍්‍රායෝගික අංශය සැකෙවින් විමසීමට ලක් කෙරේ.

මෙම "වාරණය" හෙවත් "Censor" යන වචනය ක‍්‍රි.පූ. 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක නිලයක් සෙන්සොරස් (Censores) නමින් හැඳින්වීමෙන් බිහිව එන්නකි. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුළත් විය. කෙසේ හෝ ක‍්‍රි.ව 300 වන විට චීනය ප්‍රථම අදහස් වාරණ නීතිය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. එදා මෙදා තුර, රාජ්‍ය විසින් ආයතනික වශයෙන් ක‍්‍රියාත්මක වී අදහස් වාරණය කිරීම, විවිධ අයුරින්, විවිධ රටවල, ක‍්‍රියාත්මක වී ඇත.

ජෝන් මිල්ටන් කවියා 1906 දී ඔහුගේ කෘතියක් වාරණය කිරීමට එරෙහිව එවකට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට කරන ලද ප‍්‍රකාශය එරියොපැජටිකා (Areopagitica) නමින් ප‍්‍රසිද්ධියට පත් විය. එය මෙතෙක් වාරණයට එරෙහිව කළ වඩාත්ම ව්‍යක්ත හා බලපෑමක් අතිකරන ලද ප‍්‍රකාශය ලෙසට ඉතිහාසගත වෙයි. මිල්ටන්ගේ අතිශය සිත් බඳනා සුළු එම ප‍්‍රකාශය ආරම්භ වන්නේ අදහස් වාරණයට එරෙහිව අදහස් ප‍්‍රකාශ කළ ආදිම නාට්‍යකරු යුරිපිඞීස්ගේ ප‍්‍රකාශයක් හකුළුවා දක්වමින් ය. ග්‍රීක රෝම යුගවල සිට සාධක ගෙන එවකට එංගලන්ත වාරණ නීතියට එරෙහිව මිල්ටන් මතු කළ ඉතාම වැදගත් කරුණ වන්නේ, කිසියම් කෘතියක් ජනතාව දකින්නටත් පෙර වාරණයට ලක් කිරීම මුළුමනින්ම අදහස එළියට දැමීමට නොදීමක් බවත්, පැරණි ග්‍රීක රෝම යුගවලදී පවා තිබුණේ ප්‍රථමයෙන් කෘතිය ඉදිරිපත් කරන්න ඉඩ දී අනතුරුව එහි හානිකර තත්වයක් තිබුණොත් වාරණය කිරීම හෝ දඬුවම් කිරීම බවයි. මිල්ටන්ගේ ඒ ප‍්‍රකාශය පාර්ලිමේන්තුවේ අදහස් වෙනස් කිරීමට සමත් වූ අතර එය එංගලන්තය හරහා බොහෝ රටවලට බලපෑවේ ය. කෙසේ හෝ 17-18 සියවස්වලට පැමිණීමේ දී ඇති වූ බුද්ධි ප‍්‍රබෝධයත්, සම්මතයට, සම්ප‍්‍රදායට වඩා තර්කය හා ඥානය මත නිගමනවලට පැමිණිමේ උවමනාව මතුවීමත් සමඟ යුරෝපයේ ඇති වූ ප‍්‍රතිසංශෝධන ව්‍යාපාරය වාරණය පිළිබඳ සම්මත අදහස් වෙනස් කිරීමට බලපෑවේ ය. වාරණය ඉවත් කළ ප‍්‍රථම රට ලෙසට 1766 දී ස්විඩනය තැබූ පියවර අනතුරුව ඩෙන්මාර්කය, නෝරවේ ආදි රටවල් හරහා බොහෝ යුරෝපීය රටවල් කරා ව්‍යාප්ත විය. පසුව මේ බොහෝ රටවල් එවැනි ගැටලු ඇති වූ විට විසඳා ගනු ලැබුවේ උසාවිය තුළිනි. එනම් කිසියම් කෘතියක් හානිකර බවට කෙනෙකු විසින් පැමිණිලි කර නඩු විභාගයකින් තහවුරු කළ යුතු විය. අදහස ජනතාවට දැමීමට පෙර වාරණය නොකෙරේ. එනම් කියන්නට පෙර කිවයුතු හෝ නොකිවයුතු දේ තීරණය නොකෙරේ.

කවර සම්මතයක් නිසාවත් ශිෂ්ටාචාරය මෙතෙක් එක තැනක නැවතී නොමැත. වාරණ සීමාවන් ඉක්මවා ගිය කලා කෘති දිගටම බිහි වූ අතර ඉන් කිහිපයක් පමණක් මෙහිලා සඳහන් කිරීම ඉතිහාසයේ සිදුවූයේ කුමක්ද යන්න තහවුරු කිරීමට ප්‍රමාණවත් ය.

නාට්‍ය කලාවේ ආරම්භක ග‍්‍රීක යුගයේදී ම ඇරිස්ටොපානිස්ගේ නාට්‍ය ඇතන්ස් ජීවිතය උඩුයටිකුරු කළ අතර ඒවා නිරන්තර අත්හිටවීම් සහ තහනම් කිරීම්වලට ලක්විය. ලැසිස්ට්‍රාටා (Lysistrata) නාට්‍යය නිසා ඔහුට දඬුවම් පවා විඳීමට සිදුවිය. එදා මෙදා තුර ලෝ ප‍්‍ර‍්‍රකට වූ නාට්‍ය රැසක් ඒවා මුලින් ම කරළිගත වන විට වාරණයන්ට ලක්ව ඇත. ශේක්ස්පියර්ගේ නාට්‍ය ප‍්‍රභූ වරුන්ට හා ආගමට අපහාස වන හේතු මත වාරණයට ලක් වූ අතර සමහර අවස්ථාවල රැජින විසින්ම පිටපත ගෙන්වා කොටස් කපා ඇත. හිට්ලර් විසින් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය සියල්ල තහනම් කොට මරණ ලයිස්තුවට ද නම ඇතුළත් කරන ලදි. වෝල්ට් වයිට්මන්ගේ ලීව්ස් ඔෆ් ග්රාස් (Leaves of Grass) නම් පෙරළිකාර කවි පෙළ 1881 දී බොස්ටන් නගරයෙන් ඉවත් කිරීම විශේෂ සිදුවීමකි. පසුව මෙම විශිෂ්ට කවි එකතුව ම වයිට්මන් "නිදහස් පද්‍යයේ පියා" ලෙස හැඳින්වීමට තරම් හේතුවිය. තහනමට හේතුව අතිශය ලිංගික නිරාවරණිය පද හා අන්තර්ගතයකින් යුක්ත වීමයි. ජැක් ලන්ඩන්ගේ සුප‍්‍රකට ද කෝල් ඔෆ් ද වයිල්ඩ් (The Call of the Wild) කෘතිය 1920-1930 කාලය තුළ යුරෝපීය රටවල් රැසක තහනම් කෙරුණු අතර චෙකොස්ලොවැකියාව ඔහුගේ කෘති තහනම් කිරීමට හේතු ලෙස දැක්වූයේ "අතිශය රැඩිකල්" වීමයි. අද චිත‍්‍රපටවල ඉතා සුලභව භාවිතා කරනු ලබන ෆක් (fuck) යන වචනය මුලින්ම භාවිතා වූ චිත‍්‍රපටිය වන 1967 දී තිරගත වූ යුලිසීස් (Ulysses) එම හේතුව නිසා බොහෝ රටවල තහනම් කෙරිණ. චිත්‍රපටියට පාදක කරගත් ජෙම්ස් ජොයිස්ගේ එනමින් යුත් අද්විතීය නවකතාව ද විවිධ වාරණයන්ට හා ඉවත් කිරීම්වලට ලක් විය. ලොව වඩාත් ප‍්‍රසිද්ධියට පත් සාහිත්‍ය නඩුව වූයේ 1960 දී එංගලන්තයේ දී ප‍්‍රකාශයට පත් ඞී.එච්. ලෝරන්ස්ගේ ලේඩි චැටර්ලිස් ලවර් (Lady Chatterley's Lover) නවකතාවට එරෙහි නඩුවයි. කෘතිය නඩුවෙන් දිනන ලදි. මෙම කෘතිය ඊටත් පෙර 1930 දී ඇමරිකාවේ දී විවාදයට බඳුන් වී තිබුණු අතර එවකට ඇමරිකානු සෙනෙට් රීඞ් ස්මුට් විසින් ලෝරන්ස්ව හැඳින්වූයේ "මුලු අපායම කළු කල හැකි අඳුරු ආත්මයක් හා ලෙඩ වූ මනසක් ඇති පිස්සෙක් මේක ලියලා තියෙන්නේ" යනුවෙනි. මේ අතර චිත‍්‍ර කලාවේ විශිෂ්ට සන්ධිස්ථානයක් ඇති කළ 1863 දී ප‍්‍රදර්ශනය කළ එඩුවාඞ් මොනේගේ "ඔලිම්පියා" චිත‍්‍රය ප‍්‍රථම වරට සමකාලීන ගණිකාවක් සම්පූර්ණයෙන් නිරුවත්කර උත්කර්ෂයට පත් කර අදින ලද චිත‍්‍රය වූ අතර ඒ මොහොතේ දැඩි විරෝධයක් ඊට එල්ල විය. එවකට කාමාවචර කලාව හෙවත් Pornography ප‍්‍රසාංගික කරළියට පැමිණෙමින් තිබු වකවානුව වූ අතර මොනේගේ මේ චිත‍්‍රය කාමාවචාර හා නිරුවත් කලාව (Nude Art) අතර වෙනස පිළීබඳ ඉතාමත් දාර්ශනික විවාදයක් ඇති කරන ලදී. එම දාර්ශනික විවාදය, සභ්‍ය-අසභ්‍ය භේදය ගැන අතිශය වැදගත් න්‍යායික ගැටලු රැසක් විසඳා ගැනීමට ප්‍රයෝජනවත් විය. අනතුරුව කැරන් ෆින්ලේ (Karen Finley) ඇනී ස්ප්රින්ක්ලේ (Annie Sprinkle) වැනි පුරෝගාමීන් කාමාවචර කලාව යොදාගෙන ඉතා විශිෂ්ට ප‍්‍රසාංගික කලා සම්ප‍්‍රදායන්ට පදනම දමන ලදි. අද මේ කෘති අප සැලකිල්ලට ගන්නේ ඒවා හුදෙක් එවකට තිබූ සීමාවන් ඉක්මවා යාම නිසාම නොව, කෘතියක් ලෙසට ද සාර්ථක නිසා බව සිහි කොට ගත යුතුය. එසේ ම ඇඳුම් සියල්ල ගලවා දමා වේදිකාවට නැග, රජයට බැණ වැදුණු පමණින් කලා කෘතියක් සාර්ථක නොවන අතර එවැනි වැඩ ද ඉතිහාසය පුරා සුලභව සිදුවී ඇත.

ඉහතින් සඳහන් කළ කිහිපයට අමතරව, තවත් සිය දහසක් විවිධ ක්‍ෂේත්‍රවල බිහි වූ කලා කෘති කාලීන වශයෙන් තිබූ සීමාවන් ඉක්මවා යාම නිසාත්, පවතින අධිපති මතවාදයන්ට, සදාචාරයන්ට සහ දේශපාලනයට තර්ජනය වීම නිසාත්, ඉතිහාසය පුරා විවිධ නින්දා අපහාසයන්ට හා වාරණයන්ට ලක් විය. එහෙත් ඒ සියල්ල දෙස "ඉතිහාසයේ වූයේ කුමක්ද?" යන දෑසින් බලන විට අද අප හට පසක් වන ඉතා වැදගත් යථාර්ථයක් ඇත. එනම් ඒ සියලුම කෘති, මේ වනවිට අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ඒවා වීමයි. ඞී.එච්. ලෝරන්ස්ට ලෙඩ වූ පිස්සෙක් යැයි කී දේශපාලකයාගේ සිට එදා ඒ කෘතිවලින් කළ දේ වැරදි බවත්, පවතින අධිපති මතවාදය නිවැරදි බවටත්, තර්ක කළ පිරිස ගැන කීමට ඇත්තේ ඔවුන්ට කලාව එහි භාවිතය හා ශිෂ්ටාචාරය තුළ එහි භූමිකාව ගලා යන ආකාරය පිළිබඳ කිසිඳු අදහසක් නොතබුණ බවයි. ඔවුහු දනුවත්ව හෝ නොදනුවත්ව ඉතිහාසයේ අගතිය වෙනුවෙන් පෙනී සිටියෝ වෙති.

මෙසේ වාරණය වුවත් නැතත් සැමවිටම, නව සෞන්දර්ය ක‍්‍රමවේද සහ විෂයට නව අර්ථකථන ගෙන ආවේ පවත්නා සම්මත සදාචාරය හා දේශපාලන සීමාවන් ඉක්මවූ කලා කෘති බව ඉතිහාසය පුරා ඉතා පැහැදිලිව පෙන්වන සත්‍යයකි. එම කෘති අපේ සංවේදීභාවය, බුද්ධිය, අප කිසි දිනක නොදුටු ඉසවු කරා ගෙන යන ලදී. අප තුළ සැඟව තිබූ සුන්දරත්වයේත් අසුන්දරත්වයේත් අන්තයන් ස්පර්ශ කරන ලදී. අප තුළ ඇති අසභ්‍යත්වය සභ්‍ය කරන ලදී. කලාවට නව ලාලසාවන් රැගෙනවිත් ජීවත්වීමේ ආස්වාදය අප තුළ ඇතිකරන ලදී.

සම්මත විශ්වාස සහ සම්ප‍්‍රදායන් විසින් ඒවා විසින් ම වන්දනා කරන පරමාදර්ශී ලෝකය ගොඩනගා නැති අතර, ඊට එරෙහි යතාර්ථය සහ ආකෘතීන් ගොඩ නැගීම ඉතිහාසය පුරා පැන නැගි අභිනව කලා ව්‍යාපාරවල ප‍්‍රධාන ලක්ෂණයකි. සරලව, වඩා රැඩිකල් හෝ වාරණයට හසුවිය හැකි හෝ කලා කෘතියක් යනු, මෙම මාවතේම එම මොහොතේ කිසිසේත් අපේක්ෂා නොකළ අන්තයන් කරා වඩා වේගයෙන් ගිය අවස්ථාවයි. (රැඩිකල් යනු අවශ්‍යයෙන්ම සාර්ථකයි යන්න අදහස් නොකෙරේ.) මෙහි දී, පැරණි-සම්මත ලෝකයෙන් හා අධිපති මතවාදය තුළ වඩාම යැපෙමින් සිටියෙකු, මෙම කම්පිත බිඳීම දැක කඩා වැටීමකට ලක්විය හැකි අතර කෘතියේ රැඩිකල් ප‍්‍රවේශයේ උත්සාහය වන්නේත් එම කඩා වැටීම ඇති කිරීම වේ. මෙය කඩා වැටුණ ම්නිසාගේ පැත්තෙන් බලන කල වරදක් ලෙසට පෙනී යා හැකි අතර, එහෙත් ප්‍රශ්නය බලන්නේ කාගේ දෘෂ්ටිකෝණයෙන්, කාට සේවය කිරීමට ද යන්න මත වාරණයේ විවාදය ඇරඹේ. රජය යනු හැම විටම මේ අධිපති මතවාදය රැකගත් කඩා වැටීමට බිය මිනිසා වන අතර, වාරණ ආයතනය යනු ඔහු තමාව බේරා ගනු වස් අටවන ලද නිල වහන්තරාවයි.

කෙසේ හෝ කෘතියක ඇති කවර හෝ සීමාව ඉක්ම වූ අමුද්‍රව්‍යයක් වේවා ඉන් හානියක් සිදුවිය හැක්කේ එය නිවැරදිව ග‍්‍රහනය කර ගැනීමට හා දරා ගැනීමට නොහැකි පුද්ගලයා මත බව පැහැදිලි වී ඇති සත්‍යයකි. වයස සීමා හෝ වෙනත් සංස්කෘතික සාමාජීය හෝ අධ්‍යාපනික සීමා ආදි සංකීර්ණ සීමා රැසක් කෘතියක් හා සන්නිවේදනය සම්බන්ධයෙන් බල පෑ හැකි ය. උදාහරණයකට, වරක් කිසි දිනක තොවිලයක් දැක නොතිබුණ නාගරික කාන්තාවක් ගමක තොවිලයක් නරඔන්නට ගොස් එහි දී ආතුරයාට පොල් මලෙන් පහර දෙනවා දැක කම්පනය වී සිහිසුන් නැති විය. පසුව ඇය සුව වුව ද, අනවශ්‍ය අභ්‍යන්තර බියක් ඇගේ ජීවිතය තුළ සදහටම ඉතුරු විය. කළ යුත්තේ ඇගේ පැත්තෙන් පමණක් ප‍්‍රශ්නය බලා තොවිල් තහනම් කිරීම ද, නැතහොත් කිසි දිනක තොවිලයක් කර නැති උන් (වාරණ මණ්ඩලය) විසින් යකදුරන්ට තොවිල් කරන හැටි කියා දීම ද? කවර හෝ තොවිල් වාරණයකින් හෝ සංස්කරනයකින් ජනතාවට සේවය කරනවා යැයි කියන විට ඉන් අදහස් කරන්නේ තොවිල් රස විඳ ගත නොහැකි පිරිසට සේවය කිරීමයි. කලාවේ දී මේ වූ කලී වෙනකෙක් නොව රටේ සිටින අවරසිකයායි. විවිධ කලා කෘති නිතරම රස විඳීමට පුරුදු වී සිටියකු හා පුළුල් රසිකත්වයක් ඇත්තෙකුට කවරම කලාවකින්වත් හානි කළ නොහැකි අතර, සාමාන්‍යයෙන් කෘතියක වචන, ජවනිකා හෝ අන්තර්ගතයෙන් හානි වෙනවා යන චෝදනාව කරන්නේ රස විඳීමේ විවිධ සීමාවන්ට හිරවූවන් විසින් ය.

මෙසේ කලා කෘතියක් කෙනෙකුට ග‍්‍රහණය කර ගැනීමට හෝ දරා ගැනීමට නොහැකිවීම නැතහොත් එමගින් කිසියම් විශ්වාස පද්ධතියක් (උදා: සිංහල සභ්‍යත්වය?) අපහසුතාවයට පත්වීම කලාවේ විවිධ අවස්ථාවල එය තම නොනවතින පියවර තබනවිට ඇතිවන වැළැක්විය නොහැකි නෛසර්ගික ලක්ෂණයක් වන අතර, කල යුත්තේ ඊට කලබලවී වාරණය කරන්නට යාම නොව, කලාවේ ඇති එම ගතික ලක්ෂණය තේරුම් ගන්නට තරම් පරිණත වීමයි. ඒ සමඟ ගනුදෙනු කළ යුතු නව දේශපාලනය හා සෞන්දර්යය සොයා ගැනීමයි. එකඟ නැත්නම් විචාරය හරහා කලාවේ කතිකාව පුළුල් කිරීමයි. එසේ විනා කිසිඳු සංස්කරණ වාරණ ක‍්‍රමවේදයකින් මේ ප‍්‍රශ්නය විසඳිය නොහැකිය. එබැවින් කළ යුත්තේ කලා කෘතියෙන් හානි සිදු වෙනවා යැයි සිතන පිරිසට කලාව රස විඳීමට හේතුවන අධ්‍යාපනික, සාමාජික, දේශපාලන හා සන්දර්භීය සීමාවන් හඳුනාගෙන හැකි තරම් එම සීමාවන් ජය ගැනීමට අවශ්‍ය පුළුල් සංස්කෘතික හා බුද්ධිමය පරිසරයක් ඇති කිරීමයි. ඔවුන් විශාල වශයෙන් දැනුම් හා තොරතුරු ගැවසෙන පුළුල් සංස්කෘතික පරිසරයක් තුළට ගෙන ඒමයි. මිනිසුන්ට පුළුල් මතයක් හා බුද්ධියක් ඇති වන්නේ විවිධ ශෛලියේ කලා කෘති විවිධ දෘෂ්ටිවාද අදහස් විශාල සංඛ්‍යාවක් ගැවසෙන ඒ ගැන කතිකාවක් ඇති පරිසරයක ජීවත්වන විට බැවින්, තොරතුරු වාරණය හැමවිටම අවසන් වන්නේ මිනිසුන් පටු හා අඩු අත්දැකීමක් ඇති අය බවට පත් කිරීමෙන් ය. රජයකට හැමවිටම වාරණය අවශ්‍යවන්නේ මේ කී පුළුල් බුද්ධිමත් සංස්කෘතික පරිසරයක් ගොඩ නැඟීමට අවශ්‍ය දැනුම නිර්මාණ ශක්තිය හා නිවරදි ප‍්‍රායෝගික සැලසුමක් නැති වූ විට ය. ඉහත මුලින් සඳහන් කළ රටවල් වාරණය ඉවත් කළේ එවැනි පුළුල් දේශපාලන සැලසුමක් තුළින් යමිනි.

දියුණු සමාජයකට යන්නේ නම් අපට අවශ්‍ය වන්නේ රැඟුම් පාලනය කිරීමට මණ්ඩලයක් නොව, ප‍්‍රසාංගික කලා කෘතියක් වෙළඳපොළට ගෙන යෑමේදී සාධාරණ ලෙස සංස්කෘතික පරිභෝජනයක් ලබා දෙනු වස් කෘතියත් පාරිභෝගිකයාත් දෙදෙනා ම ආරක්ෂා කිරීමට හා ඊට අදාළ සදාචාරය හා සාධාරණත්වය පවත්වා ගැනීමට මැදිහත්වන ආයතන ව්‍යුහයකි. ඒ අනුව කළ යුත්තේ කලා කෘති පාරිභෝගික අර්ථයෙන් වර්ගීකරණයකට ලක් කොට එහි අඩංගු දෑ මොනවාදැයි ආදි පැහැදිලි විස්තරයක් එය වෙළඳ පොළට යොමු කිරීමේ දී පාරිභෝගිකයාට ලැබීමට සැලැස්වීමයි. කෘතියක සාර්ථක අසාර්ථකභාවය සහ එය රස විඳීමේ ඇති සංකීර්ණතා ආදිය විමසීම විචාරකයාගේ කටයුත්ත වන අතර කෘතියක තිබිය යුත්තේ මොනවා ද නොතිබිය යුත්තේ මොනවා ද ඒවා කෙසේ හසුරවන්නේ ද කවර අර්ථයක් මතුකරන්නේ ද ආදිය නිර්මාණකරුවාගේ කටයුත්ත විනා රජයේ කටයුත්ත නොවේ. වරක් ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පි කුර්බේ කී ලෙස "කලාව පිළිබඳ සාමාර්ථයක් රජයකට නොමැත". කිසියම් කලා කෘතියකින් කිසියම් පුද්ගලයකුට හෝ ජනකොටසකට කිසියම් හානියක් සිදුවී ඇත්නම් එය එසේ වන්නේ කෙසේද යන්න නඩු විභාගයකින් තහවුරු කල යුතු ය.

එදා මෙදාතුර අපේ රටේ කලාවට, මේ රටේ "සංස්කෘතියට" හා පුරුෂාර්ථවලට හානි වූයේ කලා කෘතිවල තිබු වාරණය කළ යුතු යැයි ඔය කියන වචන හෝ ජවනිකා වලින් ද? නැත. දූෂිත තක්කඩි රජයන් විසින් තම දර දිය ඇදීමට පත්කරන ලද කිසිදු සුදුසුකමක් නැති අමනෝඥ නිලධාරීන්, පරිපාලකයින් කරන ලද අධ්‍යාපනික හා සංස්කෘතික ඛාදනය නිසා ය. හොඳ රඟහලක් හැදීමට, හරවත් පොත් දහසක් මුද්‍රණය කිරීමට ඇති වටිනා මුදල් තම අධිසුඛවිහරණය වෙනුවෙන් ද, අර්ථශූන්‍ය ආමිස පූජා වෙනුවෙන් ද, නිමක් නැති ඡන්ද හා දූෂණ අක‍්‍රමිකතා වෙනුවෙන් ද, අවසානයේ නිකමුන් රැසක් ඇමතියන් නමින් නඩත්තු කිරීමටත් නාස්ති කිරීම නිසාය. එය සිදුවූයේ එසේ නොව කලාවේ තිබු ලිඟු සහ රමණය දැකීමෙන් යැයි කිසිවකු කියන්නේ නම් කරුණාකර එසේ වූ හැටි තාර්කිකව පෙන්වා දෙන්න. තවමත් මීට අවශ්‍ය බැරෑම් දේශපාලන පිළිතුර සොයාගත නොහැකිව කරන දහම් පාසල් සරඹ සහ ලාමක ගැමි සෙල්ලම් වලට මුක්කු ගැසීමට කරන මේ වාරණයෙන් කලාවට සේවය කළ හැකි බවට පුළුවන්නම් ශිෂ්ටාචාරයේ කැමති තැනකින් උදාහරණ ගෙන පෙන්වන්න. කිසිම ලෙසකින් පාලනය කළ නොහැකි, දැන් එළිපත්තටම පැමිණ ඇති, දැවැන්ත ගෝලීය තොරතුරු සුනාමියට මුහුණ දීමට මීට වඩා බැරෑම් ශක්තිමත් දේශපාලන පිළිතුරක් සොයාගෙන පරිණාමය නොවුණහොත්, එය අප මැඩියන් කැරපොත්තන්, පණුවන් සේ දිනක මුලු පෘථිවිතලයෙන් ම අතුගා දමනු නියත ය.

අද දවසේ ජනතාවට ආදරය කරනවා නමින් මේ කරනා කලා වාරණය හා මහා සංස්කෘතික කප්පාදුවට දායකවීමට ඔබට අසීමිත නිදහසක් ලැබී ඇත. ඒ නිදහස අපට අපේ අදහස් ප‍්‍රකාශ කරන්නට ලබාදී නැත. වාරණ නිලධාරියෙකු ලෙසට, ගුරුවරයෙකු ලෙසට, සංස්කෘතික නිලධාරියෙකු ලෙසට, විචාරකයෙකු හෝ කලා විනිසුරුවකු ලෙසට, අවසාන වශයෙන් නාට්‍යකරුවකු ලෙසට වුවද එය ඔබට ගජරාමෙට මේ මොහොතේ කළ හැකිය. සඟවන්නට හැදුවද ඔබට බොහෝ දේවල් ඒ වෙනුවෙන් ඝෘජුව හෝ වක‍්‍රව ලැබෙනු ඇත. ඒ ලබාගන්නා බොහෝ දේවල් වලින් ගෙන ඔබ හදන දරුවන්ට කියවීමට එදා ඞී.එච්. ලෝරන්ස්ට පිස්සා කියුවන්ගේ ගොඩට ම ඔබේ නම දුෂ්ටයා ලෙසින් ඇතුළත් කර දිනෙක ඉතිහාසය නැවත ලියවෙන බව දැනට මතක තියාගන්න.

-ධනංජය කරුණාරත්න

ඡායාරූපය: කැරන් ෆින්ලේ තම සීමා ඉක්මවාගිය කලාව හා ජීවිතය ගැන ලියූ පොතේ පිටකවරය
(රාවය, 9.11.2009)