Monday, July 9, 2018

නාට්‍ය, වේදිකාව, රංගය සහ මෙල්බර්න් ප්‍රජාව - පළමුවෙනි කොටස


නාට්‍ය, වේදිකාව, රංගය සහ මෙල්බර්න් ප්‍රජාව - පළමුවෙනි කොටස

තරංග දන්දෙනිය (PhD) විසිනි

මතකය යනු හරි අපූරු දෙයකි. සුන්දර මතකය අපි යලි යලිත් සිහිගන්නවා පමණක් නොව, එම සිදුවීම් නැවත විදීමට හැකි පරිසරයක් ප්‍රතිනිර්මාණය කිරීමටද කැමැත්තෝ වෙමු. මා කුඩා කළ ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ අප නැවතී සිටියේ අර්ධ නාගරික පරිසරයකය. හීන් ඇලේ ජබුගසා නැටූ තුරුවිල වැවට බයිසිකල් පැද හුලං ගැසූ ට්‍රැක්ටර් ටියුබ් වලින් ඔරු පැදි මම සෑම නිවාඩුවකටම ගමට ගියෙමි. වෙන්දේසි ඉඩමක දැන්වීමක තිබූ ගොයම් කැපූ වෙලක් පසුබිම් කරගත් ගඟක් සහ හිස් බිමක් ඇතුලත් ඡායාරූපයක් දුටු මාගේ පියා අපිටද නොදන්වා ලහියේ ගොස් එම රූපය දැක්වුන ඉඩම් කැබැල්ලට අත්තිකාරමක් ගෙවූ බව දැනගත්තේ පසුවය. රුක්මලේ වූ අප නව නිවස ඉදිවූයේ එම වෙල් සහිත පරිසරය ම පියාට තම ගම් පියස සිහිකල බැවිනි. කල් යෑමේදී එක් එක් කුඹුරු පුරන්වෙන්නට අතහැරුනේ එක් පරම්පරාවක ගොවීන් මිය යෑමත් අනිකුත් වඩා ලාභ වෘත්තීන් සොයා යෑමත් නිසා පමණක් නොව පසුව ඉදි කෙරුන අධිවේගී මග කුඹුරු ජල දහරා සහ පසද වෙනස් කළ බැවිනි. එහෙත් මගේ වෙනත් උපක්‍රම තම ඉඩමෙහි පරිසරය වෙනස් කෙරුමට යොදාගන්නා ලදී. නළ ජලය තිබුනද උල්පතක් හසුවන අතින්ඇද නෑම සඳහා ළිඳක් ද, කුරුල්ලන් ලෙහෙනුන් සඳහා කුඩා වදුලක් ද මෙම කුඩා වෙන්දේසි ඉඩමෙහි පවත්වාගෙන යන ලදී. මේ සියල්ල මගින් ඔහු ඔහුගේ මතකය සංතෘප්ත කිරීම පමණක්නො ව මගෙන් ගිලිහුන ගමේ පරිසරය සුළු ප්‍රමාණයයෙන් හෝ මටද යලි ලබා දෙන්නට වෑයම් කරන ලදී.

මව් රටෙන් තවත් රටකට ආ අපිද එවන් මතකයන් පොදි බැද ආවෝ වෙමු. ඇතැම් හුදකලා මොහොතවල් වලදී ද සතුටු සාමීචිවලදීද බො හෝ පැහැසර මතකයන්අ පි නැවත සජ්ජායනා කිරීමට කැමැත්තෝ වෙමු. ඉන්ද නොනැවතී අප දරුවන්ටද එය අත්විඳීමට පරිසරයක් සකස් කෙරුමට ද උත්සාහ කරන්නෝ වෙමු. මව් රට සමග අප නිරන්තරයෙන් සම්බන්ධකරනා ධාරාවන් ලෙස කෑම සහ කලාව දැක්විය හැකිය. ඇතැම්විට ආප්ප රාත්‍රීන් වැනි රාත්‍රී කෑම සහිත සංගීත නැටුම් වැඩ සටහන් අප අතර ජනප්‍රිය මේ සම්බන්ධතාව හේතුවෙනවා විය හැකිය. මෙයට වසර කිහිපයකට පෙර කුළු බඩු හෝ කෑම ගැනීමට ශ්‍රී ලාංකීය කඩවලට ගිය බොහෝවුන් එකක් ඩොලර් එකක් හෝ දෙකක් වූ සිංහල මෙගා නාටක වල කොටස් සහ හොරට ගැසූ චිත්‍රපට කොපි ගෙන ඒමට ඇබ්බැහි වී තිබුණි. එහෙත් දැන් ඒ තැන අන්තර් ජාලයෙන් එසැනින් මුදා හරිනා වැඩසටහනක් නැරඹීම දක්වා දියුණු වී ඇත. මේ සියල්ල අතරෙහි සෑම සති අන්තයක්ම කුමන හෝ සංස්කෘතික ආගමික වැඩසටහන්වලින් පිරී ඇත. ඔබ ශ්‍රී ලාංකික ඉසව් සඳහා වූ වෙබ් අඩවියකට පිවිසෙන්නේ නම් ඉදිරි වසරක දවසක් දක්වා දින දැන්වීම්ම ගින් පිරී ඇතිවා දැකිය හැකිය. ඒවා එලොවට සහ මෙලොවට වැඩ සලසන්නේයන දෙයාකාරයේම වැඩසටහන් වෙති. මේ බහුතර වැඩසටහන්වල ආකෘතින් හි රංගකලාවේ ලක්‍ෂණ අඩංගු වන්නේ ය. රාත්‍රී කෑම සාදයන්හි ද, කඨීන පිංකම් පෙරහැරවල්වල ද, ආසන දෙකේ බණෙහි ද රංගන කලාවේ මූලික ලක්‍ෂණය වනඉදිරිපත් කිරීම ප්‍රේක්‍ෂාව, ප්‍රේක්‍ෂකයා සහ අත්දැකීම (රස වින්දනය ද ඇතුලත්) යන කාරනා දක්නට ඇත. මේ ලිපියේ දී අනෙකුන් ගේ සහ මගේ මතකය ඔස්සේ මා සොයා යන්නේ මෙරට වේදිකා හා ඇතැම් ප්‍රසාංගික කලාවන්හි ස්වරූපයෙන් සහ සුවිශේෂි කඩඉම් ය.

මේ සියලු ශ්‍රී ලාංකීය සම්බවයකින් යුතු කලා කටයුතු ඇරඹෙන්නේ ශ්‍රී ලාංකීය සංක්‍රමනිකයන්ගේ මෙරට පැමිණීම් රටා සමගින්ය. ශ්‍රී ලංකාවෙන් මෙරටට පැමිණි මුල් සංක්‍රමනිකයෝ යුරෝ-ආසියානු සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වයකින් යුතු ඉංජිනේරු වෛද්‍ය මිනින්දෝරු ආදී වෘත්තිකයෝ ය. අන්තර්ජාතික මට්ටමේ සම්මානනීය කුසලතා පදනමෙන් හැර කලාකරුවන් උදෙසා හිතකර සංක්‍රමනික නීති නොතිබුන බැවින් ඕස්ටේ්‍රලියාවට පුරවැසිභාවය වෙනුවෙන් වෘත්තීය කලා කරුවෝ ආවේ අතලොස්සකි. පැමිණියෝහු ද වෙනත් සංක්‍රමන සුදුසුකම් කාණ්ඩ යටතේ පැමිණියෝ වෙති. එහෙත් කලාවට සහ සංස්කෘතියට ඇල්ම බැල්ම තිබූ සුළුතරයකගේ උත්සාහයන්හි ප්‍රතිඵල අපි අද භුක්ති විදින්නෝ වෙමු. දශකයකටත් වඩා සංක්‍රමණික අත්දැකීම් මත එදා මෙදා තුර මෙරට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකීය රංග මූලික ක්‍රියාකාරකම් පහත සඳහන් ධාරාවන් යටතේ වර්ග කරනු කැමැත්තෙමි.

පළමු ධාරාවට අයත් වන්නේ ශ්‍රී ලාංකාවේ වෘත්තීය රංග කණ්ඩායමක් මෙරටට පැමිණ ඉදිරිපත් කිරීමයි. එම රංග කණ්ඩායමට ශ්‍රී ලාංකීය පූජා කණ්ඩායමක් හෝ වෘත්තීය සංවිධායකයින් විසින් කරනු ලබන ආරාධනාවක් සහ සංවිධානය කිරීම මත සිදුවන්නකි. ඇතැම්විට ශ්‍රී ලාංකීය නොවන සංවිධාන විසින් එම ආරාධානාව සිදු කරනු අතර එය ඉතාමත් විරල තත්වයකි. එහෙත් 1963 තරම් අතීතයකදී පවා එලෙස වෘත්තීය රංගවේදීහු මෙරටට පැමිණියෝහු ය. ප්‍රවීන නර්තන ශිල්පීන් වන චිත්‍රසේන සහ වජිරා යුවල ඕස්ටේ්‍රලියානු එලිසබතන් වේදිකා භාරය (Australian Elizabethan Theatre Trust) මගින් අනුග්‍රහය දක්වා 1963 දී මෙරටට ගෙන්වනු ලැබුව සිඞ්නි මෙල්බර්න් පමණක් නොව ටස්මේනියාවේ ප්‍රධාන නගර දෙකෙහි ද රංගනයෙහි යෙදුනෝහු ය. ඔවුහු නැවත ද වතාවක් Art Council of Australia සහ Ceylon Tea Bureau හි අනුග්‍රහයෙන් තම Chitrasena Ceylon Dance Ensemble සමග මෙරටට පැමිණ "Adelaide Festival" සහ "Festival of Perth" යන මෙරට පිළිගත් ප්‍රසාංගික උළෙලවල්හි රඟ දක්වා මෙල්බර්න්, සිඞ්නි, කැන්බරා නගරයන්හිද ප්‍රේක්‍ෂකයින් පිනවන ලදී. එවන් අනුග්‍රහක් මෑතකදී යම් රංග කණ්ඩායමකට නොලැබුණ තරම් ය. අනෙකුත් සංචාරක කණ්ඩායම් තම සමස්ත කණ්ඩායම සමග හෝ කණ්ඩායමෙන් යම් ප්‍රතිශතයක් ලෙස පැමිණෙන්නෝහුය. අඩුව පිරවන්නේ මෙරටට පැමිණ සිටිනා වෘත්තීය කලා ශිල්පීන් හෝ ප්‍රජාව අතරින් හඳුනාගත් කලා කුසලතා ඇත්තන්ගෙන්ය.

දෙවන ධාරාව ලෙස හඳුනාගත හැක්කේ සංස්කෘතික සහ ආගමික ක්‍රියාකාරකම්හි කොටස් වශයෙන් ප්‍රජාව අතරින්ම ගොඩනැගුනා වූ රංග ක්‍රියාකාරකම්ය. මෙල්බර්න් නුවර සංක්‍රමණික ප්‍රජාවේ රංග කාර්යයන්හි ආරම්භය සඳහා ඉවහල් වූයේ මෙකී ක්‍රියාකාරකම්ය. (මෙය ඉදිරි ලිපියකින් විස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබේ.) මෙම ධාරාවේ නූතන ස්වරූපය දහම් පාසල්, භාෂා පාසල්, නිදහස් උත්සව, අවුරුදු උත්සව, සහ වෙසක්, කඨින පිංකම්, නත්තල් උත්සව ආදීන් හිදී වැඩි වශයෙන් දැකිය හැකිය.

තෙවන ධාරාව වන්නේ මෙරට වාසය කරනා වෘත්තීය සහ නිර්මාණ ලෝලී ප්‍රජාව එක්ව සිදුකරනු ලබන මහජනයා සඳහා විවෘත පොදු රංග මූලීක ක්‍රියාකාරකම්ය. ඇතැම් නිර්මාණ ක්‍රියාවන් වාණිජ අරමුණු මුල්කරගෙන පැනනැගෙන්නා වූ අතර තවත් කොටසක් සහභාගිවන්නන්ගේ නිර්මාණාත්මක තෘප්තිය සහ සමාජීය ජීවිතයේ දිගුවක් වශයෙන් ඉදිරිපත් කරනු ලබයි. මේ කොටස් දෙක අතර මැද වූ අනුධාරාවන් ද ඇතැම්විට දක්නට හැකිය.

සිව්වෙනි ධාරාව වන්නේ රංග කලා වැඩමුළු හෝ පෞද්ගලික රංගකලා ආයතනයන් හී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උදෙසා සිදු කරනු ලබන අභ්‍යාසයන් හි ප්‍රතිඵල ලෙස හෝ ඔවුන්ගේ කුසලතා දියුණු කිරීම උදෙසා කරනු ලබන රංග ක්‍රියාකාරකම්ය.පස්වන ධාරාව ලෙස මා සලකන්නේ තමාගේ පවුලේ හෝ හිත මිතුරන් ඇසුරෙහි පමණක් සිදු කරනු ලබන නර්තන ගායනා ආදිය ඇතුලත් ප්‍රසාංගික ඉදිරිපත් කිරීම් ය. මේවා පෞද්ගලික රංග ක්‍රියාකාරකම්ය.
මෙයට අමතර තවත් සුවිශේෂී ප්‍රවනතාවයක් දක්නට ඇත. ඒ නම් නිර්මාණකරුවන්ගේ වෘත්තීය සහ පෞද්ගලික අවශ්‍යතා මත ඉදිරිපත් කරනා රංග ක්‍රියාකාරකම්ය. විශේෂයෙන්ම අධ්‍යනය කාර්යයක අවශ්‍යතාවක් වශයෙන් ඉදිරිපත් කරනු ලබන නිර්මාණ මෙයට අයත් වෙති.

මේ ආකාරයෙ නිර්මාණ, මෙරට ප්‍රජාව සමඟද ඇතැම් නිර්මාණ ශ්‍රී ලාංකීය හෝ වෙනත් ජාතික නිර්මාණකරුවන් සමඟ එක්වද සිදුකරනු ලබති. කුමන විදියකින්, කුමන වර්ගයකින් හෝ කුමන ශෛලියකින් මෙම රංග මූලික ක්‍රියාකාරකම් ඉදිරිපත් කළ ද මේ මහා සංක්‍රමනික ප්‍රජාව අතරින් සහභාගි වන්නේ ඉතාම සීමිත පිරිසකි. ඒ සඳහා හේතූන් අතර කාලය, රුචිකත්වය, සහ මුදල් ආදී හේතුන් දක්නට හැකිය. එමෙන් ම සති අන්තයක දින දෙකෙහි පැවැත්වෙන භාෂා වැඩසටහන් සඳහා නිරන්තරයෙන් සහභාගිවීම පහසු දෙයක් නොවේ. හිතවත්කම් හෝ යම් කණ්ඩායමකට අයත් වීම නිසා හෝ මග හැරීමට නොහැකි වීමෙන් ඇතැම්හු සහභාගි වෙති. වෘත්තීමය තත්වයෙන් අඩු වූ ද මෙයට දශක තුන හතරකට පෙර මෙනුවර ඇරඹි රංග ක්‍රියාකාරකම් දැනට වඩා ප්‍රජා කේන්ද්‍රීය ය. එබැවින්, පුරෝගාමී රංග ක්‍රියාකරුවන්ගේ මතකය ඔස්සේ එම ගමන් මග නැවත කලාපයකින් මම සටහන් කර සිටිමි.

-තරංග දන්දෙනිය [https://www.facebook.com/tharanga.dandeniya]

(First published in Sannasa Magazine - June 2017 - http://sannasa.sinhalajukebox.org/2017/Jun/2017Jun_page05.pdf)

Tuesday, July 3, 2018

නාට්‍ය සංස්කෘතියක් බිහිවීමට රඟහලක් නොමැතිවීමේ අර්බුදය


කිසියම් රටකට ඔබ ගිය පසු සමස්ථයක් වශයෙන් එරට මිනිසුන් කෙතරම් ශිෂ්ඨ සම්පන්න උසස් ජාතියක් දැයි ක්ෂණික අදහසක් ඇති කර ගැනීමට කරුණු දෙකක් දෙස බැලිය හැකි ය. එකක් එරටේ මිනිසුන් පොදු දේපල (පොදු වැසිකිලියක්, බස් නැවතුම් පොලක් ආදිය) භාවිතා කරන ආකාරයයි. අනික කලාගාරය හෝ රඟහල පවතින ආකාරයයි. පළමුවැන්නේ දී ඔබට අනිකා පිලිබඳ ඔවුන් කෙතරම් සවිඥාණික ද හා සංවේදීද යන්න සොයාගත හැකියි. දෙවැන්න වූ කලාගාරය හෝ රඟහල වෙතට කෙතරම් වටිනාකමක් අවධානයක් දී ඇත්ද යන්න මත ඔවුන්ගේ අතිරික්ත කාලය සංස්කෘතිකගත වී ඇති ආකාරයත් ඒ හරහා ඔවුන් කෙතරම් මානව අත්දැකීම ගැන සංවේදීද යන්නත් දැනගත හැකියි. මේ දෙකම එකම කාසියේ දෙපැත්ත වගෙයි.

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය කරන්න කැමති ඕනෑම කෙනෙකු මුලින්ම කල්පනා කළ යුත්තේ අපටම කියා නාට්‍ය සංස්කෘතියක් නිර්මාණය කරගන්නේ කෙසේ ද කියා යි. හේතුව එවැන්නක් අපට කිසිදිනක පැවතී නොමැති වීමයි. එහෙත් අපට ක්‍රිකට් සංස්කෘතියක් ඇතැයි කිව හැකිය. එබැවින් ක්‍රිකට් උදාහරණ කොට නාට්‍ය සංස්කෘතියක් යනු කුමක්ද යන්න කෙටියෙන් පැහැදිලිකිරීම පහසුය. ක්‍රිකට් ගැසීම හා නැරඹීම මුල් කරගෙන විවිධාකාර සමාජ ක්‍රියාකාරකම් ඇති වී ඇත. වතුවල, පාරවල්වල විවිධාකාර ක්‍රිකට් ක්‍රීඩා කිරීම, බිග්මැච් සංස්කෘතිය, ක්‍රිකට් ගැන විවිධ කතාබහ, ලෝක ක්‍රිකට් තොරතුරු හෙවීම, විශාල තිර ඉදිරියේ ක්‍රිකට් නැරඹීම ඇතුළු නිමක් නැති ක්‍රියාකාරකම් ඒ අතර වේ. ඒවා සාමාන්‍ය ජීවිතයට එකතුවී ඇති බැවින් එහි ප්‍රථිපලයක් ලෙස ඈත ගමක ආච්චී කෙනකු වුණත් දැන් ක්‍රිකට් නීතිරීති දනී. එබැවින් එය ඉහලින්ම රස විඳියි. අවසානයේ වැදගත්ම දේනම් ක්‍රිකට් හරහා නව මානව ක්‍රියාකාරකම් රැසක් ඇතිවී ඒ හරහා අප එකිනෙකා හමුවීමට හා බෙදාගැනීමට උවමනාවන් ඇතිකර තිබීමයි. එනිසාම ක්‍රිකට් අපව සංස්කෘතිකගත කර ( Cultured) ඇතැයි කිව හැකිය.

නාට්‍ය සංස්කෘතියක් යනු ද නාට්‍ය රඟදැක්වීම හා නැරඹීම මුල්කරගෙන ඇතිවී ඇති විවිධාකාර ක්‍රියාකාරකම් හා හුරුපුරුදු කෙනෙකුගේ ජීවිතයේ කොටසක් බවට පත්වුන සමාජ පරිසරයකි. නාට්‍ය ගැන කතාබහ, සම්මන්ත්‍රණ, පොතපත විස්තර කියවීම්, නාට්‍ය වලින් ඇති කල මතිමතාන්තර නිසා ඇති වුන ජීවන විලාසිතා, නාට්‍යවල ජවනිකා ආදියෙන් ඇතිවූ විනොදාත්මක අංග, නාට්‍ය උත්සව ආදී නිමක් නැති ක්‍රියාකාරකම් ඊට ඇතුලත්වන අතර බොහෝවිට ඒවා සාහිත්‍ය, නැටුම්, සංගීත ආදී අනිත් කලාවන්වල එවැනිම ක්‍රියාකාරකම් හා අත්වැල්බැඳගෙන පවතී. එය ජීවිතය හා සමාජය ගැන කරුණු විමසන විවිධ මත ගැටුම් හා ජීවිතයේ රසය අර්ථය එකිනෙකා හමුවී බෙදාගන්නා උවමනාව ඇති කළ පරිසරයකි. මනුෂ්‍ය ජිවිතයේ වඩාම සාරවත් හැඟීමක් වන සාමුහික ආශ්වාදය කලාව හරහා අභ්‍යාසගත කරවන්නේ මේ කියන සංස්කෘතික පරිසරය තුළ දී ය.

ලෝක නාට්‍ය ඉතිහාසය පුරාම එවැනි නාට්‍ය සංස්කෘතීන් නිර්මාණය වූයේ රඟහලක් වටාය. එනම් නාට්‍ය රඟදැක්වීම හා නැරඹීම නම් ක්‍රියාවලිය මුල්කරගෙන එහෙත් ඉන් එහා ගිය සමාජ පරිසරයක් ගොඩ නැගීම සඳහා ඉඩ ලබාදුන් තැන්වලය. එය නාට්‍යකරුවන් හා රසිකයින් විවේකීව කල්ගත කරන තවත් විවිධාකාර දේ සඳහා හමුවන කිසියම් රසික තිප්පොලක් හෙවත් වෙනත් විදියකට කියතොත් 'වල බහින' තැනක් බවට පත්වූ විටය. එය සාමාන්‍යයයෙන් සිදුවන්නේ රාත්‍රී ජීවිතයක් ඇති නාගරික සංස්කෘතින්වලය. වඩාත් ප්‍රකට උදාහරණ ලෙස කැෆේ සිනෝ ( Caffe Cino) රඟහල මුල්කරගත් ඕෆ් ඕෆ් බ්‍රෝඩ්වේ නාට්‍ය සංස්කෘතිය, ලන්ඩන් හී අම්බසිඩර් තියටර් ග්රූප් (Ambassadors Theatre Group) වැනි රඟහල් මූලික වූ වෙස්ට් එන්ඩ් (West End ) නාට්‍ය සංස්කෘතිය හා පැරිසියේ තියටර් ෆ්රාන්සෙස්(Theatre Francais) රඟහල ආදීය දැක්විය හැකිය. එහෙත් මධ්‍යපංතික බුර්ෂුවා පාලනයක් තිබුණු බොහෝ තැන්වල ඊට ඉඩ ලාබ නොදුන් අතර එවැනි තැන්වල පුලුල් නාට්‍ය සංස්කෘතීන් ද බිහි නොවුනි. යුරෝපයේද මුලින් එවැනි තත්වයන් ඇතිවී පසුව රඟහල යනු නාට්‍ය පමණක් නොව ජීවිතයද බව වටහාගෙන අවශ්‍ය පරිසරය සකස් කරගෙන්නා ලදි. යුරෝපයේ එහෙම වුණත් පශ්චාත් යටත්විජීත මානසිකත්වයෙන් මඩනා ලද අපේ රටේ, නාට්‍ය හැදීම හා නැරඹීම යනු ජීවිතය හොයාගෙන යන තැනක් නොව තත්වය හොයාගෙන යන තැනක් ලෙසට පටලවාගෙන, පංතිමය වශයෙන් උසස් වැඩක් කරපු උන්ගෙන් උසස් භාණ්ඩයක් අරගෙන ගෙදර යන්ඩ ආපු උසස් කට්ටියකගේ කතාවක් බවට පත්කරගන්නා ලදී. අදත් නාට්‍යයක හොදම අවස්ථාව වන දර්ශනය අහවර වී ප්‍රේක්ෂකයින් හා නාට්‍යකරුවන් බදාගන්නා වෙලාවෙදී ශාලා භාරකරු එළියට යන්නෙ කීයටදැයි අසමින් යතුරු කැරැල්ලක් සහ කොස්සක් අරගෙන අප පසුපස එයි.

ශ්‍රී ලංකාවට නාට්‍ය සංස්කෘතියක් ගැන ගැඹුරින් අවබෝධකරගෙන ගොඩ නැගූ රඟහල් සංකීර්ණයක් කිසිදිනක නොතිබුණි. එබැවින් අපට අද වහා අවශ්‍ය වී ඇත්තේ නාට්‍ය සංස්කෘතියක් බිහිකළ හැකි හොඳ රඟහල් සංකීර්ණයකි. එසේ කියනවිට නෙලුම් පොකුණ ඇතුළු දැනට ඇති රඟහලවල අර්බුදය කුමක්දැයි කෙනෙකු ඇසිය හැකි බැවින් ඒ ගැන ක්‍රමවත් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වනු ඇත.

ලොකයේ මූලික වශයෙන් රංග ශාලා සංකීර්ණ වර්ග දෙකක් ඇත. එකක් සංදර්ශණ මධ්‍යස්ථාන (Entertainment Centres) ය. අනික ප්‍රසාංගික කලා මධ්‍යස්ථාන (Performing Arts Centres) ය. ශ්‍රී ලංකාවට ප්‍රසාංගික කලා මධ්‍යස්ථානයක් නැත. ඇත්තේ සංදර්ශණ මධ්‍යස්ථානයන් පමණි. සාමාන්‍යෙයන් සංදර්ශණ මධ්‍යස්ථානවල ඉදිරිපත් කරන්නේ විශාල ප්‍රමාණයේ සංගීත හා නැටුම් සංදර්ශණ, විවිධ ප්‍රසංග, (වෝල්ට් ඩිස්නි ආදී) විශාල පපට් ප්‍රසංග ආදියයි. කොටින්ම ශරීරයෙන් එතරම් සියුම් දේවල් නිරූපණය නොකරන, පිරිසෙන් හා අනිකුත් අංගෝපාංග වලින් ද විශාල, සජීවි හඬට වඩා මයික් භාවිතා කරන සංදර්ශනයි. ප්‍රසාංගික කලා මධ්‍යස්ථාන වෙන්වන්නේ නාට්‍ය, අභින ආදී සියුම් සජීවි හඬ සහ ඉරියව් මතද යැපීමට හැකි විවිධ රූපණ හා තවත් සියුම්ව ඉදිරිපත් කරන කලාත්මක ආකෘතියක් ඇති සංගීත නර්තන ආදිය සඳහායි. එසේම වඩාත් නිවැරදිව කරන රටවල සියලුම දේවල් එකම රඟහලේ කරනවට වඩා නැටුම් නාට්‍ය සංගීත ආදී විශයන්ට ඒවාටම ආවේනික වෙන වෙනම රඟහලවල් ඇත. මහරගම තරුණ මධ්‍යස්ථාන ශාලාව සංදර්ශණ මධ්‍යස්ථානයකට හොඳ උදාහරණයකි. බොහෝ සංදර්ශණ මධ්‍යස්ථාන මෙන් එය ගෘහස්ථ ක්‍රීඩා වලටද පහසුව සලසයි. 'නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල' නමින් මෑතක ඉදි කළ සංකිර්ණය ද වඩාත් සමීප වන්නේ සංදර්ශණ මධ්‍යස්ථානයකටය. එකම වෙනසකට ඇත්තේ එය තරුණ මධ්‍යස්ථානයේ ක්‍රීඩාවලට තිබූ අවස්ථාව ඉවත්කර, ඒ වෙනුවට අංගම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක පහසුකම්ද ඇතුලත් කර, රළු ගතිය වෙනුවට සියුම් නිමාවක් සහිතව නිමකර තිබීමයි. ඊට අමතරව නෙලුම් පොකුණ, ඉහත සඳහන් කළ, විවේකී සංස්කෘතික පරිසරයක් කල්පනාවට ගෙන නිර්මාණය කරන ලද්දක් නොවේ. එය නිර්මාණය වන්නේ 'බණ්ඩාරනායක' සම්මන්ත්‍රණ ශාලාවේ වටිනාකම නැතිකර දමා ඒ වෙනුවට වැදගත් ජාත්‍යන්තර සම්න්ත්‍රණ 'රාජපක්ෂ රඟහල'ට ගෙන ඒමේ දේශපාලන ව්‍යාපෘතියක් යටතේය. (නෙලුම් පොකුණ හැදූ තැන රඟහල් සංකීර්ණයක් ඉදිකිරීමේ සංකල්පය මුලින්ම ගෙනා හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියගේ අදහස වූයේ මෙවැන්නක් නොව මීට වඩා ප්‍රසාංගික කලාවට නැඹුරුවූ රඟහල් සංකීර්ණයකි. සම්මන්ත්‍රණ සඳහා ඇයට බණ්ඩාරනායක ශාලාව තිබුණි.) කෙසේ හෝ එය පලක් නැති දෙයක් යන්න මින් අදහස් නෙකෙරේ. එසේම රඟහලක් පහසුකම් තිබූ පමණින් හොඳ රඟහලක් වන්නේ ද නැත. රඟහලක වඩා වැදගත් වන්නේ ඇතුලත වාස්තවිකත්වය සහයෝගය දක්වන්නේ කවර ඉදිරිපත් කිරීමකටද යන්නයි. සාමාන්‍යෙයන් වේදිකා නාට්‍ය සඳහා සුදුසු රඟහලක් වීමට ඇතුලත වාස්තවික පරිසරය තුළ සැලකිල්ලට ගතයුතු ප්‍රධාන කාරණා හතරක් ඇත.
  1. හඬ-ධ්වනිය (Acoustic) - විශේෂයෙන් සාමාන්‍ය කතාකරන මට්ටමේදී සජීවි හඬ නිරවුල්ව විකාශනය වීමත්, එය කැමති පරිදි පාලනය කිරීමට ඇති හැකියාවත්, බාහිර ශබ්ද ඇතුලට නොඒම ආදියත් ඊට අදාලය.
  2. රූපය(Visual) - එනම් වේදිකාවේ ඇති රූපය ඕනම අසුනක සිට නරඹන විට කිසිම බාධාවකින් තොරව (අනිත් ප්‍රේක්ෂකයාගේ හිසවත් නොපෙනී) නිරවුල්ව දකින්නට ඇති හැකියාව
    ඒ අනූව බැල්කනිය යනු වඩාම නූතන නාට්‍ය රඟහල්වලින් ඉවත් කර ඇති පැරණි අංගයකි.
  3. නම්‍යශීලිභාවය (Flexibility ) - එනම් රංගයට අනූව හැකි තරම් තමන් කැමති පරිදි රඟමඩල හා ශාලාව වෙනස්කර ගැනීමට ඇති හැකියාව.
  4. සුවපහසුව (Comfort) - අධික උශ්ණත්වය, සීතල, මකුණන් ඇති හෝ අබලන් ආසන ආදියෙන් රසවින්දනයට බාධා නැති පරිසරය මින් අදහස් කෙරේ.
එබැවින් රඟහලවල් හැදීමට වෙනම විශේෂඥයින් සිටින අතර සෑම ගොඩනැගිලි හදන්නෙකුටම රඟහලවල් හැදිය නොහැකිය. එය හරියට පියානෝවක් හෝ වයලීනයක් හැදීම වැනිය.

මේ අර්ථයෙන් ගත්කල මහජනයාට ලබාගැනීමට ඇති විවෘත රඟහල්වලින් යම් අඩුඅඩුපාඩු වලට යටත්ව නමුත් ශ්‍රී ලංකාවේ නාට්‍ය සඳහාම සුදුසු රඟහල් ඇත්තේ දෙකක් පමණි. එකක් ලයනල් වෙන්ඩට් ය. අනික බොරැල්ල බ්‍රිතාන්‍ය පාසල් රඟහල ය. අන් සියල්ලේම ඉහත සඳහන් කළ කරුණු පහෙන් එකක් හෝ කීපයක් අඩුවැඩිව නොමැතිවීමෙන් අර්බුද ඇත. එසේම රටපුරා රඟහල් නමින් ඇති සියල්ලම පාහේ රඟහල් නොව ශ්‍රවණාගර නැතහොත් නිකම්ම ශාලා ය. එහෙත් අවශ්‍ය නම් ඒ බොහෝ ඒවා හොඳ ප්‍රතිසංස්කරණයකින් සතුටුදායක රඟහල් බවට පරිවර්තනය කළ හැකිය.

නාට්‍ය න්‍යායන්ට අනුව රංගයක් සිදුවන ඕනෑම තැනක් රඟමඩලක් (Theatre) ලෙස නම් කළ හැකිය. එය ඇත්ත ය. නමුත් ඉන් එම රංගයේ ගුණාත්මක බව ගැන කිසිවක් නොකියවේ. එසේම අවශ්‍ය නම් කෙනෙකුට ඉහත සඳහන් කළ සියලු වර්ගකරණයන්ට එරෙහිව වීමෝලක් ශාලාවක් ලෙස ගෙන එහි නාට්‍ය ආදිය පෙන්වමින් ඒ අපේ ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය යැයි තර්ක කළහොත් එයද සාධාරණ ය. නමුත් අප මෙහිදී උත්සාහ කරන්නේ මේ රඟහල් පිලිබඳ සියලු කතා පැමිණෙන බටහිර-යුරෝපයේම කතාබහ ඇසුරින් වඩා නිවැරදි ක්‍රමය ලෙස හඳුනාගෙන තිබෙන ආකාරයන් තේරුම් ගන්නට ය.

අපට අවශ්‍ය වන්නේ නිකම්ම පහසුකම් ඇති නාට්‍ය ශාලාවක් නොවේ. එය සංස්කෘතික, කලාත්මක හා සමාජ වටිනාකමින් යුත් තැනක් විය යුතුය. කොටින්ම ආගමික හා පෞරාණික අර්ථයෙන් දළදා මාලිගාව කෙතරම් වටින්නේද, ලෞකික අර්ථයෙන් මෙම රඟහල සමකාලීන සංස්කෘතියට එතරම්ම වටිනාකමක් ඇති රඟහලක් විය යුතුය. එනම් එය ගෘහ නිර්මාණාත්මකව අතිශය මනහර වූ ද, භූමියෙන් ඉතාම සුවිශේෂි වූ තැනක පිහිටියා වූ ද ගොඩනැගිල්ලක් විය යුතුය. කොළඹාශ්‍රිත සුදුසු භූමියකට උදාහරණ ලෙස බත්තරමුල්ල දියවන්නා ඔය අසල ස්ථානයක්, කොල්ලුපිටිය, බම්බලපිටිය වැනි ප්‍රදේශයක මුහුද අසල ස්ථානයක් හෝ ගාලුමුවදොර වැනි ස්ථානයක් දැක්විය හැකිය. දළදා මාළිගාව, සීගිරීය වැනි අතීත රජවරුන් බිහිකළ උරුමයන් හැරුණ විට අපට නූතන ජීවිතය තුළ එවන් සංස්කෘතික වටිනාකමකින් යුතු දේවල් ගොඩ නැගීමට තවම හැකියාවක් ලැබී නැත. වි‍ශේෂයෙන් නිදහසින් පසු පැමිණි අපේ දේශපාලකයින් බොහොමයක් දෙනා ඡන්දය සඳහා ජනතාව කෙටිකාලීනව රවටා ගැනීමට හා පහසුවෙන් කොමිස් ගසාගැනීමට හැදු අතිශය බාල, නීරස ගොඩනැගිලි සහ මංමාවත් විශාල තොගයක් මැද අප අද අනාථ වන විට බටහිර ජාතිකයින් ඒ දේවල් අතිශය බරසාරව හා කලාත්මකව නිර්මාණය කර ගෙන ඇති බව අමතක නොකල යුතුය. අද විදේශකයින් අපේ රටට එන්නේ ‘රජ කාලේ දේවල්‘ බලන්නය. වර්තමානයේ ඔවුන්ව පුදුම කරවීමට අප සතුව කිසිවක් නැත. (පුදුම කරවන්න අවශ්‍ය නම්!) අඩු ගානේ රඟහලක්වත් හදාගතහැකි දැයි බලමු!

කෙටි කාලයක් තුළ දියුණුව කරා වේගයෙන් ගිය ජාතියක් වන ඕස්ට්‍රේලියානුවන් එදා ඔවුන් අලුතින් පැමිණි බිමේ නව සුදුජාතික ශිෂ්ඨාචාරය ආරම්භ කරන විට ලෝකය තුළ වටිනාකම ලබාගැනීම සඳහා මුලින්ම නිර්මාණය කළ දේවල් අතර ප්‍රධාන වූයේ විශේෂ ගෘහනිර්මාණ සැලසුමකට හැදූ ඔපෙරා රඟහලකි. එය නාට්‍ය ආදී සියල්ලටම පහසුකම් ඇති ප්‍රසාංගික කලා මධ්‍යස්තානයකි. අද සිඩ්නි ඔපෙරා හවුස් නමින් ලොව ප්‍රකට එය නිර්මාණය කළේ එරටේ වඩාම සෞන්දර්යාත්මක හා මිල අධිකම ස්ථානයේය. එපමණක් නොව එය නිර්මාණය කිරීමට වැය වූ විශාල පිරිවැය සොයාගත්තේ එම සංකල්පය ජනතාව වෙත ඉදිරිපත් කර මුලුරටේම ජනතාවගේ මුදල් දායකත්වය ලබාගැනීමෙන් ය. අද එය ලෝක පූජිත සංස්කෘතික මධ්‍යස්ථානයකි. දිනපතා එය නැරඹිමට ලොව නන්දෙසින් එන්නන්ගෙන් පමණක් එය උපයන විදේශිය ආදායම අතිමහත් ය.

අප මේ කතා කරන රංග සංකීර්ණයට (Theatre Complex) ඇතුලත් විය යුතු අංග කෙටියෙන් මේවායි. ඒ තුළ අවම වශයෙන් රංගශාලා දෙකක් තිබිය යුතුය. එකක් ආසන පන්සීයේ සිට හත්සීය දක්වා ඇති විශාල රංග ශාලාවයි. අනික ආසන දෙසිය පණහේ සිට තුන්සීය දක්වා ඇති කුඩා රංගශාලාවයි . ඊළඟට ස්ටුඩියෝ ඉඩක් හෙවත් සියදෙනෙකුට පමණ ඉඳගත හැකි ‘බ්ලැක් බොක්ස්‘ රංගශාලාවක් (එවැන්නක වේදිකාවක් නැත. අවශ්‍යනම් ක්ෂණික වේදිකාවක් හදාගත හැකිය.) තිබිය යුතු ය. ඊලඟට විවිධ ප්‍රමාණයේ පුහුණුවීම් ශාලා හෝ කාමර සැලකිය යුතු ප්‍රමාණයක්, බාර් එකක් සහ කැෆේ එකක් සමඟ එන රෙස්ටොරන්ට් එකක් තිබිය යුතු ය. (රඟහලක මේ බාර් හා රෙස්ටොරන්ට් පරිසරයේ ප්‍රධාන අරමුණ වන්නේ බොහෝ වේලාවක් විවේකීයව ඉන්නට විවිධ ආකාරයේ ආසන සමඟ පහසුකම් තිබීමයි.) රඟහල යනු මිනිසුන් තම සංස්කෘතික ජීවිතය විවේකීව ගතකරන්නට එන සැහැල්ලු (රිලැක්ස්) තැනක් බව යලිත් මතක තබාගන්න. ඊළඟට ඇතුලත් කලහැක්කේ කුඩා පොත් කඩයකි. හැකිනම් කුඩා පුස්තකාලයක්ද අනුබද්ධ කළ හැකිය. ඒ කෙසේ වෙතත් ඉන්ටර්නේට් ආදී පහසුකම් සහිතව අධ්‍යයන පර්යේෂණ කිරීමට විෂයයට අදාල ග්‍රන්ථ එකතුවක් සමඟ ඉඩක් අවශ්‍යම ය. සංස්කෘතික වටිනාකම වැඩිකරණු වස් මේ සංකීර්ණයට නාට්‍ය හා ප්‍රසාංගික කලාවට අදාල කුඩා කෞතුකාගාරයක් තිබීම වැදගත්ය. ඊට සාම්ප්‍රදායික හා නූතන නාට්‍ය කලාවේ විවිධාකර භාණ්ඩ, අත්පිටපත්, පෝස්ටර් ආදී ඓතිහාසික දේවල්වල එකතුවක් තැබිය හැකිය. චිත්‍ර ආදී ප්‍රදර්ශන සඳහා මේ සංකීර්ණය තුල කිසියම් කුඩා කලාගාරයක් (Art Gallery) තිබීම එහි සංස්කෘතික පරිසරයට අනිවාර්යයෙන් වැදගත්ය. එලිමහනද අවශ්‍යනම් වීදි නාට්‍ය ආදී ප්‍රසංග සඳහා පහසුව දියයුතුය.

මෙවැනි රඟහල් සංකීර්ණයක සිදු කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද? දැනට නාට්‍ය අනු මණ්ඩලය කරගෙන යන නාට්‍ය උත්සව ඇතුළු අවිධිමත් හා පණ නැති වැඩ සියල්ල විධිමත්ව හා වෙනත් ප්‍රාණයකින් කිරීම, දර්ශණ සඳහා රඟහල හා පුහුණුවීම් ශාලා කුලියට දීම (මෙවැන්නක් රටේ නැති නිසා මෙයට විශාල ආදායමක් ඉපයිය හැකිය), රටේ සිදුවන අනිකුත් පුද්ගලික මට්ටමේ නාට්‍ය ක්‍රියාකාරකම්වලට සහයෝගය ලබාදීම, නාට්‍ය කලා අධ්‍යාපනයට හා රසවින්දනයට අදාල වැඩසටහන් සංවිධානය කිරීම (මීට විදේශවලින් ප්‍රවීන වැඩමුළු උපදේශකවරු ගෙන්වීම ආදියද ඇතුලත් ය.), බොහෝ රටවල ඇති සංස්කෘතික හුවමාරු වැඩසටහන් යටතේ අපේ රටේ නාට්‍ය වෙනත් රටවල රඟදැක්වීමටත් ඒ රටවල නාට්‍ය අපේ රටේ මෙම සංකීර්ණයේ රංගගත කිරීම ආදිය මූලිකව ක්‍රියාත්මක කළ හැකිය. හැකිනම් නාට්‍ය කරුවන්ගේ ආරක්ෂාවට හා සුභසාධනයට අදාල නාට්‍ය ‘ගිල්ඩ් එකක්‘ වැන්නක් මෙය මුල්කරගෙන බිහිකර ගැනීම සිදු කළ හැකි ය. ඉතාම වැදගත් කරුණ නම් මෙරට ඇතුළු ලොව පුරා සිටින නාට්‍ය කලාවට ආධාර උපකාර හා ශිෂ්‍යත්ව ආදිය ලබාදෙන ධානපතියන් හා ආයතනාදිය සොයා එම ආධාර හා පහසුකම් නාට්‍යකරුවන්ට ලබාගැනීමට මැදිහත් වීම හා උපකාර කිරීමයි. බොහෝ රටවල මෙය රජයෙන් කරන අතර ඒ අවස්ථාවන් සියල්ල එකතු කර වෙබ් අඩවියක් පවත්වාගෙන යාම ද එම රටවල කරන දෙයකි. ලෝකය පුරා කලාවට ආධාර කරන ආයතන හා පුද්ගලයෝ අතිවිශාල ප්‍රමාණයක් සිටිති. එහෙත් ඔවුන් ආධාර කරන්නේ විශ්වාසවන්ත පදනමක් ඇති තැන්වලට පමණි. අප මෙසේ පිලිගත් නාට්‍ය සංකීර්ණයක් හරහා ක්‍රියාත්මක වන විට සහ එය ලෝකය හඳුනාගන්නා විට ආධාර ඉතා පහසුවෙන් ලබාගත හැකිය. කෙසේ හෝ මේ මූලස්ථානය නාට්‍යකරුවන් හා ප්‍රේක්ෂකයින් හමුවන, විවිධ අදහස්, සංකල්පනා සහ මානව සම්බන්ධතාවලට පසුබිම හදන, පුළුල් සංස්කෘතික ජීවිතයක් වින්දනය කරන්නට ඉඩ ලැබෙන රාත්‍රී ජීවිතයක්ද ඇති ස්ථානයක් විය යුතුය. ඊලඟට දෙවන අදියර හැටියට මෙය මූලස්ථානය කරගෙන මෙහිම විවිධ අනුරූ මධ්‍යස්ථාන අවම වශයෙන් රටේ ප්‍රධාන නගරවල ඉදිකිරීම පුළුල් නාට්‍ය සංස්කෘතියක් බිහිකිරීමට පසුබිම සලසනු ඇත.

ලොව බොහෝ රටවල් අත්පත් කරගත් මෙවැනි නිර්මාණාත්මක ව්‍යාපෘති දෙස බලන විට අපට ඉතා හොඳින් පැහැදිලි වන දෙයක් වන්නේ වඩා වැදගත් වන්නේ මුදල් නොව නිර්මාණාත්මක සංකල්පයන් බවයි . දැන් මේ අපි කතා කරන ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව සංවර්ධනය කරන්නට මේ රටේ රජයේ ආයතන පිටුපස ඉඩම්වල අත්හැරදමා ඇති වාහන හා සම්පත් විකිණීමෙන් ලබන මුදල් පමණක් හොඳටම ප්‍රමාණවත් ය. නාස්ති කළ ලැම්බෝගිනි කාර් කීපයක මුදල් ප්‍රමාණවත්ය. ඇමතිවරයෙක් කොන්ත්‍රාත් කීපයකින් ගහන කොමිස් ප්‍රමාණවත්ය. ඊටත් වඩා මෙවැන්නක සැබෑ උවමනාව නාට්‍යකරුවන්ට ඇත්නම් මාධ්‍ය හරහා රටේ සියලුම දෙනා දැනුවත් කිරීමකට ලක්කර මුදල් එකතුකිරීමේ ව්‍යාපෘතියක් වුව දියත් කළ හැකිය. එහෙත් මෙතෙක් බොහෝ විට සිදුවූයේ නාට්‍ය කලාවේ සංවර්ධනයට කියා නාට්‍යකරුවන්ට පුද්ගලික මට්ටමෙන් ආධාර උපකාර හා වරප්‍රසාද ආදිය ලබාදීමයි. රජයන් ගණනාවක් යටතේවත් අපට ඒවා ලබාගැනීමට නොහැකිවූවේ නාට්‍ය කරුවන්ගේම තිබුණ ආකල්පමය අගතිය, අකිනෙකා අතර තරඟය, පුද්ගලික අරමුණුවලින් ඔබ්බට ගොස් පොදු යථාර්තයක් ජයගැනීමට එකඟතාවයකට නොපැමිණිම ආදී අර්බුද නිසාය. නාට්‍ය කලාවේ දීර්ඝකාලීන සංවර්ධනයකට බලපාන දැවැන්ත සහ පෙරලිකාර වැඩවලට අප තාම ගියේ නැත. තේමාව යහපාලනය නම් දැන් එයට කාලය පැමිණ ඇත.

ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne - 2015
[http://www.dhananjaya.net/]

[http://www.divaina.com/2015/02/05/sarasavi%205.html]

ප්‍රේක්ෂකයා රඟන වගයි [සිංහල නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක ප්‍රවණතා පිලිබඳ විග්‍රහයක්.]


නාට්‍යය පටන් ගන්නට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණි. තුන්වන සීනුව නාද කරන්නට පෙර මෙවර ශාලාව පිරිසිදු කරන ජේමිස් අයියාට වැඩේ ඉවර කරගන්න බැරීවෙයි. එළියේ වහින අතර ශාලාව අඳුරුවී නාට්‍ය ඇරඹෙන විට කොස්සත් අතැතිව ශාලාව තුල කොටුවන ජේමිස් අයියා කළ හැකි දෙයක් නැතිව පිටුපස අසුනක වාඩිවී ඔහෙ නාට්‍යය බලන්නට පටන් ගනියි.

දාර්ශණික ප්‍රශ්ණය මෙයයි, ජේමිස් අයියා ප්‍රේක්ෂකයෙක්ද? ප්‍රශ්ණය දාර්ශණික වන්නේ ඔවු සහ නෑ යන පිලිතුරු දෙකම ඇති නිසාය.

එක් පැත්තකින් රඟහලක් තුල නාට්‍යයක් නරඹන සියළුම දෙනා ඔවුන් එතනට පැමීණියේ කෙසේද යන කතාව අමතක කර දැමුවහොත් නමින් ප්‍රේක්ෂකයින් ලෙස ගැනීමට සිදුවේ. අනිත් පැත්තෙන් ප්‍රේක්ෂක යන නමේම අර්ථය අනූව ප්‍රේක්ෂාවක් නැති නාට්‍යය නැරඹීම පවා තෝරා නොගත් කෙනෙකු ප්‍රේක්ෂයකු ලෙස ගත හැකිද යන ප්‍රශ්ණය මතුවේ. නාට්‍යයක “සැබෑ ප්‍රේක්ෂකයකු” වීමටනම් ප්‍රේක්ෂාවක් සහිතව කිසිවකුගේ මැදිහත් වීමකින් හෝ බලපෑමකින් තොරව තමාගේම තෝරා ගැනීම මත රඟහලේ සිට නාට්‍ය නැරඹිය යුතු යැයි අපට නාට්‍ය නැරඹීමේ දීර්ග කලීන සංස්කෘතීන් දෙස බලා සැබෑ ප්‍රේක්ෂකයාට අර්තකතනයක් ලබා දිය හැකියි. සෑබෑ යන්න තරමක් විවාදාත්මක නමුදු බ්‍රෙශ්ට් කීවාක් සේ වැදූ මව හැමවිටම සැබෑ මව ලෙස ගත නොහැකිය, ඇය සැබෑ මවක් වීමට වැදීමට වඩා දේවල් සැපිරිය යුතුය. නමුත් ඇයත් මවකි. දැන් අපි අපේ සිංහල රඟහලේ සැබෑ ප්‍රේක්ෂකයා හැකි තරම් අපගේ ප්‍රායෝගික අත්දැකීම් හරහා සොයා යමු. ඒ ප්‍රේක්ෂකයා ජේමිස් අයියා නොවේවා!

මුලින්ම හඳුනාගත යුතු හා ඕනෑම කලක ශ්‍රී ලංකාවේ විශාල ප්‍රේක‍්ෂකාගාරයක් වන්නේ සංවිධායකගේ ප්‍රේක‍්ෂකාගාරයයි. කිසියම් සංවිධායකවරයෙකු නාට්‍ය මිලදී ගෙන මුදල් උපයීමට හෝ වෙනයම් දෙයක් උපයාගැනීම පිණිස නාට්‍යය සංවිධානය කරයි. එවිට ඒ සංවිධායකට අනුග්‍රහයක් පිණිස ප්‍රවේශ පත්‍ර විකුණා ප්‍රේක‍්ෂකයින් එකතු කිරීම සංවිධායකගේ ප්‍රේක‍්ෂාකාගාරය ලෙසට ගත හැකිය. මෙසේ ප්‍රවේශ පත්‍ර විකිණීමට පූජකයින් මඟින් අනුගාමිකයින්ට, මුදලාලි මඟින් ණයකාරයින්ට, පොලීසිය මඟින් වැරදිකාරයින්ට, ගුරුවරු මඟින් ශිෂ්‍යයින්ට ආදි වශයෙන් ඇති සියලූම උපක්‍රම භාවිතා කරයි. මීට අමතරව උද්‍යාන වැනි තැන්වල සිටින පෙම්වතුන් මැද්දට පවා කඩා පැන ප්‍රවේශ පත්‍ර විකුණයි. නාට්‍යයට ජනප්‍රිය නළුනිලියන්, සම්මාන හෝ විශේෂ කටකතා ආදිය ඇත්නම් එම ක්‍රියාවලිය වඩාත් පහසු කරයි. මේ ආදි ලෙස සංවිධායක විසින් තම ශූරත්වය මත විවිධ උපක්‍රම හා බලපෑම් වලින් රැස් කරනා ප්‍රේක‍්ෂකයින් මේ ගණයට වැටේ. වැදගත් දේ නම් එකී සංවිධායකගේ මැදිහත් වීම, බලපෑම නොවන්නට එම නාට්‍ය විශේෂයෙන් ගොස් නැරඹීමට එම ප්‍රේක‍්ෂකයින්ට උවමනාවක් නොමැති වීමයි. සමහරවිට නාට්‍යය නැරඹීමට යන්නේ ප්‍රවේශපත්‍ර මිල දී ගන්නට සිදුවූ කෙනා ද නොවේ.

ශ්‍රී ලංකාවේ නාට්‍ය නරඹන තවත් විශාල ප්‍රේක‍්ෂාකාගාරයකි සහායක ප්‍රේක්ෂකාගාරය. කෙනෙක් තමන්ගේ තනියට හෝ සහායට නාට්‍ය නරඹන්නට කැඳවාගෙන යන්නා හෙවත් දෙවැන්නා සහායක ප්‍රේක්ෂකයා වෙයි. ශ්‍රී ලංකාවේ තවමත් නාට්‍ය හෝ චිත්‍රපටි වැනි දෑ කෙනෙක් තනියම නරඹන්නට යන අවස්ථා තරමක් දුලබය. මෙය කාන්තාවන්ට විශේෂයි. මේ සහායකයා මිතුරා, බිරිඳ, ස්වාමී පුරුෂයා, පෙම්වතා, පෙම්වතිය, අම්මා, තාත්තා, දුව, පුතා, ශිෂ්‍යයා, ආදි විවිධ විය හැකිය. කෙසේ හෝ මේ දෙවැන්නා පළමුවැන්නා තරම්වත් නාට්‍ය සමඟ ගණුදෙනුවක් නැත. බොහෝ විට දෙවැන්නා හෙවත් සහායක නැරඹිය යුතු නාට්‍ය තෝරන්නේ පළමුවැන්නා විසින්ය. මින් අදහස් කරන්නේ පළමුවැන්නාගේ තෝරාගැනීමට, තීරණයට හා බලපෑමට සම්පූර්ණයෙන්ම යටත් කෙනෙක් විනා සෑම කෙනෙක්ම හා යන තවකෙනෙක් නොවේ. කෙසේ හෝ පළමුවැන්නාගේ මැදිහත් වීම නොවන්නට මේ දෙවැන්නා එකී නාට්‍ය විශේෂයෙන් ගොස් නැරඹිමට උවමනාව ඇත්තෙක් නොවේ. මාගේ ගණන් බැලීම් වලට අනුව මේ සහායක ප්‍රේක‍්ෂකාගාරය ඕනෑම නාට්‍ය ශාලාවක සාමාන්‍යෙයන් 30%-45% අතර සිටී. එනම් රඟහලක භාගයකට ආසන්නව පිරී ඇත්තේ සහායක ප්‍රේක‍්ෂකයින්ගෙන් ය.

ඊළඟට විශාල ප්‍රේක‍්ෂකාගාරයක් වන්නේ ශිෂ්‍ය ප්‍රේක‍්ෂකාගාරය යි. මේ අය විශ්වවිද්‍යාල හා පාසල් මට්ටමෙන් මෙන්ම විවිධ පාඨමාලා හරහා නාට්‍ය කලාව අනු හෝ ප්‍රධාන විෂයක් ලෙසට හදාරණ අයයි. ඒ හේතුවෙන් නාට්‍ය බැලීමට සිදු වී ඇති අයයි. මොවුන්ට නාට්‍ය රසාස්වාදය හෝ එහි දේශපාලනික උවමනාව ඇඟට ඇතුල් කිරීමට අවුරුදු කිහිපයක අවිධිමත් අධ්‍යාපනයකට අපහසුය. පාඨමාලාවෙන් පසු නාට්‍ය නිෂ්පාදනය කිරීමට හෝ නැරඹිමට හෝ වෙනත් එවැනි නාට්‍ය කලාවට අදාළ රැකියාවක් ලදහොත් ඊට අනුව නාට්‍ය කලාවේ ගැවසෙන මේ බොහෝ දෙනෙක් ශිෂ්‍ය අවධියෙන් පසු වෙනත් රැකියාවකට ගිය පසු නාට්‍ය නැරඹීමට උනන්දුවක් නොදක්වයි. ඔවුන් ඉගෙන ගන්නේ වෙනත් වුවමනාවකට ය, මූලික වශයෙන් ශිෂ්‍යයකු ලෙස නාට්‍ය නැරඹීමට පැමිණෙන්නේ එම උවමනාවට සහයෝගයක් වශයෙන්ය.

අනිත් ප්‍රේක‍්ෂකාගාරය ඥාති – මිත්‍ර ප්‍රේක්ෂකාගාරයයි. නාට්‍යයේ රඟපාන හෝ සංවිධානය දක්වා එම ව්‍යාපෘතියේ කටයුතු කරන කවර කෙනෙකුට හෝ ඥාති හෝ මිත්‍ර සම්බන්ධයක් තිබීම හේතු කොට ගෙන එම නාට්‍ය නරඹන්නට යන්නා මේ ගණයට වැටේ. සමහර විට එකී නාට්‍යයට සම්බන්ධ පුද්ගලයාගේ ඉල්ලීම පරිදි හෝ එය නරඹන්නට ගොස් ඒ පුද්ගලයාට පක‍්ෂපාතිත්වය පෙන්වීමට හෝ මෙසේ මගුල් තුලාවකට මෙන් හිතවත්කමට නාට්‍ය නරඹන්නට යාම සුලබව සිදුවේ. නාට්‍යයට සම්බන්ධ තැනැත්තා සමාජයේ කිසියම් පිරිස් බලයක් ගොඩනගාගෙන හෝ නායකත්වයක් දරන්නෙක් නම් මේ පිරිස විශාලය. මෙම ප්‍රේක්ෂකයා ද එකී පුද්ගලික සම්බන්ධතාවය නොවන්නට එම නාට්‍ය නරඹන්නට යන්නෙක් නොවේ.

තවත් ප්‍රේක්ෂක කොටසකි ආරාධනා ප්‍රේක්ෂකාගාරය. ප්‍රභූත්වය නිසා, ජනප්‍රියත්වය නිසා, සමාජ බලයක් තිබීම නිසා තරුවක් වීම නිසා ආදී ලෙස නාට්‍යකරුවාට සුවිශේෂි පුද්ගලයකු වීම නිසාවෙන් ආරාධනා පත්‍රයක් ලබා නාට්‍ය නරඹන්නට යන්නා මේ ප්‍රේක්ෂකාගාරය යි. තමන්ට ලැබුණු මේ ගෞරවනීයත්වය තුළ හොඳින් ඇඳ පැළඳ ගෙන (ඇතැම් විට පවුල් පිටින්) ගොස් තමන්ට හිමි ගෞරවය රසවිඳ නාට්‍යයක් ද නොමිලේ බලා සමහරවිට ඡායාරූපවලට ද පෙනී සිට අවසානයේ ප්‍රවෘත්තියක් බවට ද පත්ව මුහුණු පොතින් අවසන්වීමට හැන්දෑවේ රඟහල පැත්තට යන අය මේ කොටස යි. මෙතනදී ඉලක්ක කරන්නේ ආරාධනාපත් ලද සියලුම දෙනා නොව ආරාධනාපතක් නොලැබෙන්නට එම නාට්‍යය නරඹන්නට නොයනා පිරිසය. මෙවැනි අවස්ථාවක් නොලැබෙන්නට ඔවුන්ට ද එකී නාට්‍ය විශේෂයෙන් ගොස් නැරඹීමට වුවමනාවක් නැත.

ඊළඟට එන ප්‍රේක්ෂකාගාරය අපි පංති හෝ ගෝත්‍රික ප්‍රේක‍්ෂකාගාරය නමින් හඳුන්වමු. එනම් නාට්‍යකරුවා හා කිසියම් පංතිමය වශයෙන්, වෘත්තීමය වශයෙන් හෝ නාට්‍යකරුවාගේ යුගයේ වීම නිසා, ගමේ වීම නිසා ආදි වශයෙන් ඇති නිශ්චිත ජන-පංතියකට ඇති සම්බන්ධයක් මත ‘අපේ එකෙක්ගේ වැඩක්’ වීම නිසා නාට්‍ය නරඹන්නට එන්නා මේය. මම මොවුන් ඥාති- මිත්‍ර කොටසට ඇතුලත් නොකලේ මොවුන්ගේ පෙළඹුම එවැනි පුද්ගලික හැඳුනුම්කමකට වඩා අර කී ගෝත්‍රමය හෝ පංතිමය නියෝජනය වීමයි. උදාහරණයකට, පෙර කල නාට්‍ය හැදුවේ ගුරුවරයෙකු නම් අනිත් ගුරුවරු එය නැරඹීමටත් සංවිධානය කිරීමටත් පෙළඹුණි. ඒ සඳහා නාට්‍යයකරුවාව පුද්ගලිකව හඳුනනවාද යන්න ඥාති- මිත්‍ර ප්‍රේක‍්ෂකාගාරයේ මෙන් මෙහිදි අදාළ නොවේ. මෙය 60 දශකයේ පමණ සිට 80 දෂකය වන විටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රෙක්ෂකාගාරයක් වූ අතර අවම වශයෙන් සීයයට පණහක් පමණ නාට්‍ය සංවිධානය කිරීමට මෙම ගෝත්‍රික-පංතික සම්බන්දධය හේතු විය. මීට තවත් හේතුවක් වූයේ එදා නාට්‍ය වල රඟපෑ බහුතරයක් රජයේ රැකියා කරන්නන් වශයෙන් විවිධ ආයතන නියෝජනය කිරීමයි. කෙසේ හෝ මේ ප්‍රේක‍්ෂකාගාරය එදා තරම් තදින් අද ක්‍රියාත්මක නොවේ. ජීවිතය වඩා පුද්ගලිකකරණය වීමත් නාගරිකකරණය වීමත් සමඟ මෙවැනි ප්‍රේක්ෂකාගාර දියවී යන නමුදු මෙය තවමත් විශාල ප්‍රේක්ෂකාගාරයක් ලෙසට පවතී. මෙම ප්‍රේක‍්ෂක කොටස ද එවැනි සම්බන්ධයක් නොතිබෙන්නට එම නාට්‍ය නරඹන්නට හෝ සංවිධානය කරන්නට විශේෂ උනන්දුවක් නොදක්වයි.

ඊළඟට එන්නේ ගෘහීය ප්‍රේක‍්ෂකාගාරය යි. මෙහි ලක‍්ෂණය නම් නාට්‍ය නරඹන්නට රඟහලට යනවා වෙනුවට නාට්‍ය තමන් සිටිනා ආයතනය (ගෘහස්ථයට) තුළට ගෙන ඒ තුළ සංවිධානය කර මූලිකව ඒ ආයතනයේ පිරිස පමණක් නැරඹීමයි. සාමාන්‍යෙයන් දැනට මෙය පුළුල් වශයෙන් සිදුවන්නේ විශ්වවිද්‍යාල තුළ යි. බහුතරය ශීෂ්‍ය වුවද ශිෂ්‍ය ‍ ප්‍රේක‍්ෂකාගාරයට මෙය ඇතුල් කල නොහැක්කේ මොවුන්ගේ ශීෂ්‍යභාවය හෝ අධ්‍යාපනය සමඟ නාට්‍ය නැරඹීම අනිවාර්ය සම්බන්ධයක් නැති වීම නිසයි. මෙහිදී ප්‍රවේශපත්‍ර ඉතා අඩු මිලට ලබා ගත හැකි අතර එසේම යහළුවන් සියලූම දෙනා සමඟ රංචු පිටින් ගොස් මේ ‘ඇඳ ළඟටම’ ගෙනත් දැම්ම නාට්‍ය නැරඹීම විශේෂ ලක‍ෂණයකි. නාට්‍යය එසේ සංවිධානය නොවන්නට ඔවුන්ද සාමාන්‍යෙයන් එම නාට්‍ය විශේෂයෙන් සොයා ගොස් නරඹන්නෙන් නොවේ.

තවත් ප්‍රේක‍්ෂකාගාරයකි පාලිත ප්‍රේක‍්ෂකාගාරය. මේ වූ කලි අනාථ නිවාස, පාසල් සිසුන් , මහළු නිවාස, සිරකරුවන්, ආබාධිතයින් (සොල්දාදුවන්) ආදි කාගේ හෝ සැලැස්මක් යටතේ පාලනය වන පිරිස් ය. එකී පාලකයින් විසින් ඔවුන්ව ප්‍රාසාංගික කටයුත්තක් වශයෙන් නාට්‍යයක් නරඹන්නට ගෙනයාමට තීරණය කර කණ්ඩායම පිටින්ම රඟහලට රැගෙන ගොස් නාට්‍ය පෙන්වා ආපසු අරගෙන යයි. මෙතනදි මේ පාලිත ප්‍රේක‍්ෂක පිරිසට කිසිඳු තෝරා ගැනීමක් නැති අතර ඔවුන් නැරඹිය යුතු නාට්‍ය පවා තෝරන්නේ වෙනත් කෙනෙකි. මෙසේ එකට සිටින පිරිස සමඟ එළියට ගොස් ඒමම ඔවුන්ගේ ලොකුම අරමුණ වෙයි. මේ ප්‍රේක‍්ෂකයින් හා නාට්‍ය අතර ද කිසිඳු සම්බන්ධයක් ගොඩනැඟිය නොහැකි ය. මොවුන්ගේ කණ්ඩායමේ ප්‍රමාණය දෙතුන් දෙනාගේ සිට දහස් ගණනක් දක්වා විය හැකිය.



මේ සිනා ප්‍රේක‍ෂාගාරය ගැනයි. කිසියම් නාට්‍යයක් හෝ එවැනි ඕනෑම දෙයක් විසින් හුදෙක් හිනස්සවන්නේ නම් පමණක් එය නරඹන්නට යන්නන් මොවුන්ය. ඔවුන් නාට්‍යයක් ද නැද්ද යන්න පවා අදාල නැති, ඕනෑම හිනස්සවන ප්‍රසංගයකට හුදු සිනාවීම පමණක් සොයා යන පිරිසකි. මම එය හාස්‍ය ප්‍රේක‍්ෂකාගාරය ලෙස නම් නොකළේ ප්‍රහසන හෝ හාස්‍ය යනු ඉතා විශිෂ්ට වෙනත් නාට්‍ය විශේෂයක් වන නිසාය. මොවුන්ගේ බහුතරය එදිනෙදා ජීවිතයේදී පුක යන්න පවා ප්‍රසිද්ධීයේ කීම හෝ ‘විකාර ලෙස හැසිරීම’ සමාජමය වශයෙන් පහත් තත්වයක් යැයි සිතන, ‘පැරණි වික්ටෝරියානු සදාචාරයෙන්’ මඩනා ලද මනසකින් ද යුත් ‘නූතන පංති තත්වයක් ඇති ජීවිත’ ගත කරන අතිශය සම්මත මැද පංතික පිරිසකි. සමහර නළුවන් කට පස්ස එකට තබා අඹරවමින් මෙන් මහන්සි වුනද මේ ජන කොටස හිනැස්සවීමට එතරම් මහන්සි විය යුතු නැත. ඔබ කළ යුත්තේ වේදිකාවට නැග පස්සවල් දෙකක් එකට හැප්පවීම හෝ නිකන් පුටුවකට හරි ‘පුක කීම’ පමණි. ඔවුහු ඊට ඉල බදාගෙන ලඟ ඉන්න එකාටද අනිමින් හිනා වෙනු ඇත. හුදු හිනාවීම ද වරදක් නැත. ඒත් හුදු හිනාව සොයා යාම නාට්‍ය සොයා යාම නොවේ. බොහෝ බටහිර යුරෝපීය රටවල හුදු හිනස්සවීම පිණිස විවිධ ප්‍රසාංගික අංග සහ ජවනිකා ඇති අතර සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ හාස්‍ය ප්‍රසංග ලෙසට හෙවත් කොමඩි එනටර්ටේන්මන්ට් ලෙසටය. ඒවා නැරඹීමට පුරුදුවී ඇති බොහෝ දෙනෙකු ඒවා නාට්‍ය හා පටලවා නොගනී. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රසාංගික සම්ප්‍රධායක් එතරම් වර්දනය වී නැති අතර ඒ සියලු ප්‍රසංග මෙන් පෙන්වන්නේ ‘නාට්‍ය’ නම් ලේබල් එක යටතේය. කෙසේ හෝ මේ ප්‍රේක්ෂකාගාරයද හිනස්සවන් නැත්නම් කුමක් වුවත් ඔවුන් එය නරඹන්නට නොයයි.

අවසාන වශයෙන් හඳුනාගන්ඩ තරඟ ප්‍රේක‍්ෂකාගාරය. මේ ප්‍රේක‍්ෂකාගාරය බොහෝ විට හමුවන්නේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සිට පාසල් නාට්‍ය තරඟ දක්වා විවිධ නාට්‍ය තරඟ තුළදීය. මෙයට ඇතුලත් වන්නේ නාට්‍ය කලාවේ නළුවන්, නිෂ්පාදකවරුන්, ආදි ලෙසට කටයුතු කරන පිරිස් ය. එකී කවර ආකාරයකින් හෝ නාට්‍යයකට සම්බන්ධ වූ පමණින් හොඳ රසඥ්ඥතාවය ඇති ප්‍රේක‍්ෂකයකු බිහි නොවේ.මෙකී සමහර ශිල්පීන් නාට්‍ය බලන්නේ නාට්‍ය තරඟ අවස්ථාවකදී සමාජ තත්වය-ප්‍රථිරූපය, ත්‍යාග, ප්‍රසිද්ධිය ආදිය විසින් නිර්මාණය කරන එම තරඟකාරී පරිසරය නිසාය. එම හේතු නොවන්නට එහි අති බොහෝ නාට්‍ය ඔවුන් විශේෂයෙන් නරඹන්නට යන් නැත.

මේ ප්‍රේක්ෂක ප්‍රවණතාවලට අමතරව මීටම සමාන හුදකලා හා වෙනස් වන ප්‍රවණතා තව තිබිය හැකිය. උදාහරණයක් ලෙසට, 1989 භීෂණ සමයේ දී භීෂණය ආශ්‍රිත තේමා රැගත් නාට්‍ය නැරඹීමට ඒ කී කැරැල්ලට හෝ භීෂණයට රිජුව හෝ වක්‍රව සම්බන්ධ වූ විශේෂයෙන් තරුණ කොටස් උනන්දු විය. එහෙත් භීෂණය පහව යත්ම ඒ තරුණ ප්‍රවණතා ඉන් අනතුරුව එයාකාරයෙන් දිගටම නාට්‍ය බලන බවක් අපට දක්නට නොලැබුණි. ඒ සමහරු ඊට සම්න්ධවූයේ නාට්‍යයකට වඩා භීෂණයට සම්බන්ධ ඉසව්වක් ලෙසටයි. එසේම කිසියම් ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටි අධ්‍යක‍්ෂවරයෙකු නළුනිළියන් සොයන්නට පමණක් කිසියම් නාට්‍යයක් නැරඹීමද මෙවැනි අතුරු තත්ත්වයකි.

ඉහත මා පෙන්වු සෑම ප්‍රේක්ෂකාගාරයකම පොදු ලක‍්ෂණයක් වනුයේ එකී ප්‍රේක‍්ෂකයින්ට සැබෑ ප්‍රේක‍්ෂාවක් නොමැති වීමයි. එසේම ඔවුන් නිත්‍ය ප්‍රේක‍්ෂාගාරයක් ද නොවේ. එකී කතාව තුළ කියවීමේ උවමනාව මත, කිසිඳු බලපෑමකින් තොරව, හුදු නාට්‍ය නැරඹීමේම ආශ්වාදය මත මුදල් දී පොතක් ගෙන කියවන ලෙස ප්‍රවේශ පතක් මිලට ගෙන ස්වාධීනව නාට්‍ය නරඹන්නන් අපට හමු නොවේ.

සත්තකින්ම සැබෑ ප්‍රේක්ෂාවක් ඇති ප්‍රේක්ෂකයෙක් සිටියේම නැද්ද යන්න ඔබ දැනටමත් විමසමින් ඇත? සිටියේය! සමහර නිර්මාණකරුවන් ද ඇතුලු ඒ ප්‍රේක‍්ෂක ප්‍රමාණය අතිශය සුළු වූ අතර එය කෙතරම් සුළු වුයේ දැයි කියතොත් නොපෙනෙන තරම් ය. මේ ප්‍රේක්ෂකයා නාට්‍යෙ කලාවට පමණක් විශේෂ නොවූ ඉන් බාහිරද පොතපත කලාව ගැන උනන්දු, හොඳ චිත්‍රපට සොයාගෙන බලන බොහෝ විට නගරාශ්‍රිතව ගැවසෙන්නෙකි. ඒ සුළු කොටසේ සැබෑ ප්‍රේක්ෂාව සංස්කෘතියක් ලෙසට වර්ධනය නොවුන අතර ඔවුන්ගේ පවුලේ අනිත් සාමාජිකයින්වත් ඒ හරහා නාට්‍ය නරඹන්නට පුරුදු වූ බවක් පෙනෙන්නට නැත. ඒ පුද්ගලයා කිසියම් ක්‍රමිකව වර්ධනයවූ නාට්‍ය බලන සංස්කෘතියක නිර්මිතියකට වඩා හුදෙකලා සුවිශේෂ තත්වයන් යටතේ ඊට නැඹුරුවුවෙකි. අනිත් අතට මේ ප්‍රේක‍්ෂකයාට සාධාරණයක් කල හැකි තරම් හොඳ නාට්‍ය ක්‍රමිකව නිෂ්පාදනය නොවුණි. ඉඳ හිට හොඳ නාට්‍ය බිහිවන නමුත් අර ප්‍රේක්ෂකාගාරයේ උද්යෝගය පවත්වාගන්න හා විකාශණය වන්නට ප්‍රමාණාත්මකව එය මදිය. එසේ නිපදවුණි නම් සමහර විට මේ ප්‍රේක්ෂකාගාරය මීට වඩා වර්ධනය වන්නට ඉඩ තිබුණි, ක්‍රියාත්මක වන්නට ඉඩ තිබණි. මොවුන්ගේ ආර්ථීක පසුබිම කවරක් වේවා මේ ප්‍රේක‍්ෂකයා මුදලට සරිලන හොඳ නාට්‍යයක් ලබා දෙන්නේනම් එය නැරඹීමට මේ දැණුත් සුදානමින් සිටී.

මේ වන විට විශේෂයෙන් කොළඹාශ්‍රිත සාමාජික ප්‍රමාණයෙන් වැඩි නව ප්‍රේක්ෂකාගාරයක් ඇත. ඒ අය කවුද? මේ බහුතරය වූකලි නාට්‍ය කලාව කිරීමට වැඩමුලු, පාඨමාලා හා උළේලවල් හරහා පැමිණෙමින් සිටින තරුණ ප්‍රේක්ෂකාගාරයයි. රියැලිටි ෂෝ ආදිය හරහා මෑත කාලය තුල ප්‍රසාංගික කලාව ජනප්‍රියවීම, කලා නොවන පාසල් විශයන් වලින් විශල වශයෙන් පිරිස් අසමත් වීම, රැකී රක්ෂා අර්බුදය උත්සන්නවීම, ජනගහනය සීග්‍රයෙන් වැඩිවීම , ගමේ ඉන්න බැරි නිසා මොනවාහරි කරන්නට කොළඹට යාමේ උවමනාව වැඩිවීම, කාන්තාව වඩාත් සමාජයට විවෘතවීම, නාට්‍ය කලාව අධ්‍යාපනික විශයක් ලෙස ව්‍යාප්ත වීම ආදී පසුගිය කාලයේ මතුවුන නව සමාජ ආර්තික දේශපාලනික ප්‍රවණතා පහසුවෙන් ඇතුල්විය හැකි ප්‍රසාංගික මාධ්‍යය ලෙස නාට්‍ය කලාවට විශාල වශයෙන් අලුත් පිරිස් එවන ලදි. මේ පිරිස් නාට්‍ය කලාව තුල දිගටම ඉඳිම හෝ එය හැරදා යාම විශාල ප්‍රමාණයට තීරණය කරන්නේ ආර්තික තත්වයයි, රැකියාවයි. සමහරුන්ට, විශේෂයෙන් කාන්තාවන්ට කසාදයද තීරණාත්මක සාධකයක් වෙයි. ‘සුලු ධනේශ්වර මැද පංතික උවමනාවන්’ උදෙසා හදා ඇති ඒ බොහෝ මනස් තුල නාට්‍යකරුවෙකු ලෙසට මොන කට්ට කාගෙන හරි ජීවිතයම නාට්‍ය කලාවේ රැඳී සිටීමට තරම් ප්‍රමාණවත් ආධ්‍යාත්මික, දේශපාලනික හෝ ‘බොහිමියානු හේතු’ නැත. සමහර විට නාට්‍ය කලාවෙන් ලැබෙන භෞතික දේ හා භාහිර ඔපය පවතින්නට වඩාම බලවත් හේතු විය හැකිය. මේ හේතු උඩ බොහෝ විට මේ විශාල පිරිස අවුරුදු කීපයක් වැනි කෙටි කාලයක් නාට්‍ය කලාවේ කරක් ගසා සමහර විට සැබෑ ප්‍රේක්ෂාවක් වර්ධනය වන්නටත් පෙර එය හැරදා යයි. ඒ අනූව වාර්ෂිකව විශාල පිරිසක් නාට්‍ය කලාවට පැමිණෙමින් පවතින කොට තවත් විශාල පිරිසක් වාර්ෂිකව එය හැරදා යයි. බැලු බැල්මට අලුතින් රඟහලවල් පිරී ඇත්තේ මොවුන් ගෙන්ය. එසේ වුවත් කෙසේ හෝ නාට්‍ය නැරඹීමට විශාල පිරසක් සිටීම අසුභවාදී දෙයක් නොවන අතර ඒ හරහා යම් පිරිසක් රසිකයින් හෝ නාට්‍ය කරුවන් ලෙස ප්‍රේක්ෂාව වර්ධනය වී නිත්‍ය සාමාජීකයින් වීමට ඉඩ ඇත. මෙය කවදත් තිබුණ ප්‍රවණතාවයක් වන අතර මේ වනවිට පිරිස වැඩිවී සමහර හේතු පමණක් වෙනස්වී ඇත.

ඉහත මම විග්‍රහ කල සන්ධර්භීය ලක‍්ෂණය බොහෝ පසුගාමී පශ්චාත් යටත් විජිත රටවල සුලභව දැකිය හැකිය. විශේෂයෙන් ඒ රටවල ,නාට්‍ය නැරඹීම වැනි බටහිරින් ලබා ගත් නුතන සංස්කෘතික ක්‍රියාකාරකම් එහි නියම අර්ථයෙන් සන්ධර්භගත නොවීම, සංස්කෘතික ගත නොවීම මීට ප්‍රධාන හේතුවකි. එපමණක් නොව සමාජවාදය වැනි දෘෂ්ඨිවාද වල සිට විවිධ පාරිභෝගික භාණ්ඩ දක්වා දේවල් වෙනත් අර්ථයෙන් භාවිතා කිරීම සුලභව දැකිය හැකිය. නාට්‍ය ඇතුලු ජනතාව වෙනස් කිරිමට උත්සාහ කරන බොහේ සංස්කෘතික හා අධ්‍යාපන ව්‍යාපෘති අසාර්ථක වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේත් මතුපිට අර්ථයට යටින් ජනතාව වෙනත් අරමුණු සඳහා ඒවා භාවිතා කිරීමයි. අර ඊනියා ප්‍රේක්ෂකයින්ගෙන් රඟහල පිරී ඇතිවිට අප රැවටී යනවාක් මෙන්බොහෝ මිනිසුන් ඇතුලින් සිදුවන යථාර්තය නොදැන ඒ ක්‍රියාකාරකම්වල මතුපිට මායාවට ද රැවටී යනු ඇත.

අදත් සිංහල නාට්‍ය කලාවේ ප්‍රධාන අර්බූදය ප්‍රේක‍්ෂකයින් හිඟ විමට වඩා හොඳ නාට්‍ය හිඟවීම ය. ප්‍රේක්ෂකයා යනු නාට්‍ය සංස්කෘතියයි, එහි ශාරයයි. සාමාන්‍යෙයන් සිද්ධ වන්නේ නාට්‍යයේ හැටියට ප්‍රේක‍්ෂකයින් බිහිවන විට ප්‍රේක‍්ෂකයින්ගේ හැටියට යලි නාට්‍ය බිහි වීමයි. (කිකිලියි බිත්තරෙයි කතාව මෙන්) මා පෙර කී වර්ගීකරණයට බාහිරව බලවත් සැබෑ ප්‍රේක්ෂකයකු නැති වීම දිගින් දිගටම නාට්‍ය පිරිහීමට බලපෑවේය. නාට්‍ය පිරිහීම ප්‍රේක්ෂක පිරිහීමට බලපෑවේය. බොහෝ විට නාට්‍යකරුවා වීමට ඉඩ ඇත්තේත් ඉහත කී වර්ගීකරණයට අයත් ඊනියා ප්‍රේක්ෂකයාම විනා වෙනත් ලොවකින් වැටුණ සුවිශේෂ ජනකොටසක් නොවේ.

අවශ්‍යනම් ප්‍රේක්ෂකයා වෙනත් අරමුණු වලින් නාට්‍ය බලන්නට යාමට සාපේක්ෂව නාට්‍ය කරුවා වෙනත් අරමුණු වලින් නාට්‍ය නිෂ්පාදනය කිරීමේ අනිත් කතාවද අපට දැන් කියවීමට උත්සහ කළ හැකිය!

ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne [http://www.dhananjaya.net/]

(Image: Chaminda Upasena)

ඩයස්පෝරික නාට්‍ය සංස්කෘතියකට පෙරවදනක් - Towards a disporic theatre culture


සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියෙහි (Sydney-Colombo Theatre Project) උත්සාහය කුමක්ද, ඔබට ඊට ඇති සම්බන්ධය කුමක්ද? මේ ඒ ගැන කෙටි හැඳින්වීමකි.

කාලයක් තිස්සේ කරගෙන ආ නාට්‍ය වැඩමුළුවක ප්‍රතිඵලයක් ලෙස අප පිරිසක් විසින් සිඩිනි මූලිකව සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතිය මෑතකදී පිහිටවා ගන්නා ලදී. එය කිසියම් පුද්ගලයකුගේ තනි නායකත්වය යටතේ පවතින්නක් නොව ඊට ආවේණික වූ පරිපාලන ව්‍යුහයක් සහ විනයක් මත පවතින ස්වාධීන සංවිධානයකි. එය තවමත් ආරම්භක අවස්ථාවේ පවතින වාණිජ පරමාර්ථයෙන් ඔබ්බට ගිය සමාජ ප්‍රවර්ධනය සඳහා මැදිහත්වන්නට උත්සාහ කරන නාට්‍ය සංවර්ධන ව්‍යාපෘතියකි. උදාහරණයක් වශයෙන් අපේ එක් මූලික උත්සාහයක් වන්නේ අවම වශයෙන් කොළඹ නගරයේ මෙන් හෝ හොඳ රංග ශිල්පීන් පිරිසක් බිහිකර ගැනීමයි. එසේ ම, දැනට කරගෙන යන ඩයස්පෝරා රංගය වැනි ව්‍යාපෘති හරහා අපේ ප්‍රේක්ෂකයින් තුළ නාට්‍ය කලාව ගැන රසයක් හා ඇල්මක් මෙන්ම අර්ථවත් සංවාදයක් ඇති කරන්නටත් නාට්‍යය හුදු කොලොප්පන් සැපයීමේ මෝඩ සංදර්ශනයකට එහා ගිය අර්ථවත් මාධ්‍යයක් බව තහවුරු කරන්නටත් අපි උත්සාහ කරන්නෙමු. ඒ සමගම, අප උත්සාහ කරන්නේ අපේ නිර්මාණ හැකි හැම විටම ගුණාත්මක බවෙන් ඉහළ, ප්‍රවීණ මට්ටමකින් ඉදිරිපත් කරන්නට ය.

අප නාට්‍ය රචනයේ සිට නිෂ්පාදනය හරහා වැඩමුළු දක්වා සෑම නාට්‍ය ක්‍රියාකාරකමක් ම කරන අතර විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ධාරාවෙන් සහයෝගය නොලබන සමාජ සංස්කෘතීන් හි ප්‍රශ්න සාකච්ඡා කිරීමටත්, ශ්‍රී ලාංකික ඩයස්පෝරික සමාජයේ නාට්‍ය සංස්කෘතිය වර්ධනය කිරීමටත් අපි වැඩි අවධානයක් යොමු කරන්නෙමු. ඒ සඳහා අවශ්‍ය දියුණු දැනුම හා තාක්ෂණය අපි භාවිතා කරන්නෙමු.

ලෝකය පුරාම පසුගිය කාලයේ ප්‍රධාන ධාරාවෙන් සහයෝගය නොලබන ඩයස්පෝරික වැනි සුළු ජන කොටස් හා අවරවරප්‍රසාදිත ජන කොටස් වලට ආවේණික නාට්‍ය ව්‍යාපෘති විශාල වශයෙන් බිහිවුණි. ඒවා අප වැනි නාට්‍ය ව්‍යාපෘති (Theatre Project) ලෙස මෙන් ම නාට්‍ය සමාගම් (Theatre Company) ලෙස ආදී වශයෙන් විවිධ ආකෘතීන්ගෙන් යුක්ත ය. ඕස්ට්‍රේලියාවේම ඇති http://urbantheatre.com.au ඒ සම්බන්ධ වඩාත් ම ප්‍රකට සංවිධානයකි. එසේ ම, http://www.blacktheatrenetwork.org යනු කළු ජාතීන් සම්බන්ධ ලෝක ප්‍ර්‍රකට නාට්‍ය සංවිධානයකි. ආන්තික ජන කොටස්වල ප්‍රශ්න කතා කරන තවත් ප්‍රකට නාට්‍ය ව්‍යාපෘතියකි http://theatreprometheus.org.

මේ සෑම නාට්‍ය ව්‍යාපෘතියක් ම, කොටින් ම Sydney Theatre Company වැනි දැවැන්ත නාට්‍ය සමාගම් පවා, ලෝකයේ පවතින්නේ රජයේ සීමිත ආධාරයක් හා කලාවට ලැදි දානපතියන්ගේ ආධාර අනුග්‍රහය (donation) මත ය. ඔබ ඒ ඕනෑ ම ව්‍යාපෘතියක වෙබ් අඩවියකට ගිය හොත් ආධාර ලබා දීමට ක්‍රම සඳහන් කර ඇත. නාට්‍ය නිර්මාණයට හා සංවර්ධනයට අධික වියදමක් යන අතර බොහෝ විට එය ප්‍රවේශ පත්‍ර වල මිලෙන් පමණක් ආවරණය කළ නොහැක. විශේෂයෙන් ම, විදේශ රටවල ඇති ඩයස්පෝරික සමාජයන් හි කලාව පිළිබඳව කතා කිරීමේ දී ජර්මනිය (Goethe-Institute) හා ප්‍රංශය (Alliance Française) වැනි රටවල්වල වඩා දියුණු ඩයස්පෝරික කලා සංස්කෘතීන් ඇත්තේ ඒවා විශාල ජනතා අනුග්‍රහයක් ලබන නිසා ය. එසේ වන්නේ ඒකී ජනතාව අනාදිමත් කාලයක සිට පැවති එන, කලාව සමීපව ඇසුරු කිරීමේ දැවන්ත සම්ප්‍රදායකින් බිහිවීම නිසා ය.

කණගාටුවෙන් වුව ද කිව යුත්තේ අපිට එවැනි සම්ප්‍රදායක් නැති බවය. අපේ රජයන් ද ඇතුළුව බොහෝ කලා හා සංවර්ධන ව්‍යාපෘති පැවතෙන්නේ අන් බොහෝ දේ මෙන් අර්ථයට වඩා ප්‍රදර්ශනය මුල් කරගත් දූෂිත අවස්ථාවාදී ව්‍යාපෘති ලෙස ය. ඒවායේ බොහෝ විට කෙරන්නේ වෙනත් උවමනාවන් සඳහා ‘කලාව’ අවභාවිතා කිරීමයි. මේ නිසාම ජනතාව වෙනුවෙන් සේවය කරනවා යැයි කියන ව්‍යාපෘති අතර ජනතාවද හවුල් කරගෙන ඉතා අප්‍රසන්න කලා විරෝධී ගැටුමක් ඇති අතර රජයන්ද සාධාරණය ස්ථාපිත කර ඒවා සමතයකට පත්කරනවා වෙනුවට ඒකී ගැටුම් හරහා පවතින්නට හදයි. මෙවන් පිරිසර තුල සාමාන්‍යෙයන් සිදුවන්නේ හුදෙක් පංති තත්වය හා බලය පෙන්වීමට හෝ කීයක් හරි හොයාගැනීමට තවත් සෝබන මෙවලමක් ලෙස කලාව මුතුපිටින් යොදාගන්නන් බිහිවීමත් ඔවුන්ව 'කලා තරු' ලෙස හඳුනා ගැනීමත්ය. මේ නිසා ම දෝ නාට්‍ය සම්බන්ධයෙන් කතා කිරීමේදී දියුණු කලා සම්ප්‍රදායන් මගින් පෝෂණය වූ සමාජ තුළ අපට දකින්නට ඇති කලාව හරහා මතු වෙන ජීවිත යථාර්තය පිළිබඳ සංවාදශීලීබව, විචාරශීලීත්වය, අර්ථවත් කලාව සොයා ගැනීමට හා එය ඇගයීමට ඇති හැකියාව, හුදු පුද්ගල ලාභයට වඩා සමාජ යහපත හරහා තෘප්තිය ලැබීමට ඇති හැකියාව (සාමූහික ආස්වාදය) අප සමාජය තුළ එතරම් දකින්නට නැත. අපගේ රජයන් ප්‍රමුඛ පොදුවේ ජනතාවට කලා සංවර්ධනය ගැන ඇත්තේ පිලිස්තීනු (Philistinism) ප්‍රතිචාරයකි.

එහෙත් පොදු තත්වය එසේ තිබියදී වුව ඩයස්පෝරා රංගයේ මංගල දර්ශනය දා අපට සැලකිය යුතු මුදල් අනුග්‍රහයක් (donations) ලැබුණු බව ස්තූති පූර්වකව සඳහන් කළ යුතුය. ඒ ආධාර හිතුවට වඩා විශාලව ලැබීම තුළින් අප වඩා ධෛර්යමත්ව වටහා ගත්තේ, මෙවැනි ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාමට උවමනාව ඇති කිසියම් ප්‍රේක්ෂකයින් පිරිසක් හෝ තාමත් අප අතර ඉන්නා බවයි. එසේ ම අදහස්, යෝජනා සහ ඊමේල් පණිවිඩ වලින් පවා අපට සමහරුන් දුන් ධෛර්යය ද ඊට එකතු කළ යුතු වේ.

ශ්‍රී ලංකාවේ වුව ද නාට්‍ය සංස්කෘතියක් ඇත්නම් එය පවතින්නේ කොළඹ කේන්ද්‍රීය සුළු අවකාශයක් තුළ පමණකි. නාට්‍ය සංස්කෘතියක් යනුවෙන් අදහස් කෙරෙන්නේ, නාට්‍ය රචනය, නිෂ්පාදනය, රංගනය ආදී නිර්මාණකරණය, වැඩමුළු ආදී අධ්‍යාපන හා පර්යේෂණ අංශ, නාට්‍ය නැරඹීම, සංවාද, විචාර ආදී රස වින්දන ක්‍රියාකාරකම්, නාට්‍ය ගැන පොත පත හා ඊට අවශ්‍ය භෞතික පහසුකම් වලින් පිරුණු ජීවිතයේ හරය සහ රසය කලාව හරහා බෙදා ගැනීමට කැමති ක්‍රියාකාරී සහෘද සමාජයකි. ඇඳුනුම්කමට විකිණෙන ප්‍රවේශ පත්‍ර මත නොව අනිකුත් පාරිභෝගික භාණ්ඩ සේම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත ඉල්ලා සිටින කලාවක් මත බිහිවුණු සංස්කෘතිය නියම කලා සංස්කෘතියයි. අපේ යෝජනාව වන්නේ සිඩ්නි ශ්‍රී ලංකික සමාජය තුළ ද එයට ආවේණික දියුණු නාට්‍ය සංස්කෘතියක් වර්ධනය විය යුතු බවයි. ඇත්ත වශයෙන්ම එසේ නාට්‍ය සංවර්ධනය ගැන අප සැබෑවට කල්පනා කරන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකාවට වඩා පහසුකම් සිඩ්නි වල ඇත. ඊට ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ සංවර්ධනයට පවා දායක විය හැකිය. ඒම දායකත්වය ලබා දීමට අපි උත්සහ කරන්නෙමු. අපේ උත්සාහයේ ප්‍රතිඵල ඔබට දකින්නට හැකි ය, අවශ්‍ය නම් ඔබට අප හා සම්බන්ධ වීමට ද හැකිය.

ඔබට සුභ දවසක්!

ධනංජය කරුණාරත්න [http://www.dhananjaya.net]
සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතිය [http://www.sctp.org.au]

August 10, 2017